පසුගිය සති කිහිපය පුරාම වාගේ ලෝකය පුරා කතාබහට ලක් වූයේ නායයාම්, ගංවතුර, යුද්ධය, සඳමතට ගොඩබැසීම්, ඉන්දීය – කැනඩා ගැටලුව ආදී මෙකී නොකී කතාබහය. විටෙක රසවත් විස්මය දනවන කතාන්දර මෙන්ම දුක්මුසු සිදුවීම්වලින් ගහන පුවත් ද එමට තිබිණි. ඒවා එසේ වන විට ඉන්දියාවෙන් මතු වූ වයිරසයක් ගැන කතාවක් මතුව පසුගිය සතියේදී එන්නේ මේ කතා මැද්දේය. ඒ ගැන කතා කරන්නට මත්තෙන් කාගෙ කාෙග්ත් මතකයට නැඟෙන්නේ 2019 වසර අවසානයේදී චීනයෙන් මතු වූ අමුතුම ආකාරයේ වයිරසය ගැනය. ‘ළඟින් ගියොත් ඇහැක් නැහැ’ කියන්නාක් මෙන් වයිරසය වැලඳුණු අය, තම ජීවිතය බේරා ගත්තේ එහෙමත් වෙලාවකය. මෙකී කොවිඩ් 19 වයිරසය හේතුවෙන් එක් රටක් පමණක් නොව ලෝකයේ බහුතරයක් රටවල් අපමණ පීඩාවන්ට පත් විය. විශේෂයෙන්ම ඉතාලිය හැරුණු කළ ඉන්දියාවේ දිස්වූයේ විශාලා මහනුවරක සිරියකි. කොවිඩ් 19 වයිරසයේ බලපෑම නිසා ලෝකයටම සිදු වූයේ එක් මොහොතක එක් තැනක නතරවීමටය. මේ නිසා එවක ඕනෑම වයිරසයක් පැමිණි පසු වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඒ පිළිබඳ සොයාබැලීම අරුමයක් නොවේ. කොවිඩ් උවදුරෙන් පසු සියලුදෙනාම පාහේ තවත් එක් වයිරසයක් පිළිබඳව සොයා බැලීමට උත්සුක විය. ඒ 2022 වසරේ අගෝස්තු වන විටය. එයද කොවිඩ් 19 වයිරසය මෙන්ම පත්තු වූයේ චීනයෙන්මය. නමුත් ඒ පිළිබඳව විස්තර සොයා යාමේදී වෛද්‍යවරුනට ඒත්තු ගිය කාරණාව වූයේ ලන්ග්‍යා නමින් හැඳින්වූ එම වයිරසයෙන් පළමු රෝගියා සොයා ගනු ලැබුවේ 2018 වසරේදී බවයි.
එහෙත් කොයි කවුරුත් සැක පළ කළ අයුරින් කොවිඩ් වසංගතයට පසුව කසු කුසුවක්ව පැවති අලුත්ම වයිරසය ලෝකයටම පත්තු වී ගියේ නැත. හාවක් හූවක් නැතිවම වයිරසයේ උණුසුම සෙමින් පහව ගියේය. 2022 අගෝස්තුවෙන් පසුව කතා බහ කළයුතු මට්ටමේ ලෙඩක්, දුකක් රෝගී වයිරසයක් සම්බන්ධයෙන් කතාබහක් පැවතියේ නැත. එහෙත් මීට සතියකට පමණ පෙර සිට වයිරසයක භීතියකින් ඉන්දියාව වික්ෂිප්ත වන්නට විය. එය මූලික කතාව පැමිණියේ කේරලයෙනි. එයට හේතුවූයේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝලිකෝඩ් දිස්ත්‍රික්කයෙන් පසුගිය සතියේදී නිපා වයිරසය ආසාදනය වුණු රෝගියකු හඳුනා ගැනීමත් සමඟයි. එම සතියේදී කේරලයෙන් පමණක් නිපා වයිරසය ආසාදිත වූ රෝගීන් සය දෙනකු හඳුනා ගන්නට කේරලයේ වෛද්‍යවරු සමත්වූහ.
මොකක්ද මේ නිපා
මීට පෙර වසංගතයක් බවට පත්වූ කොවිඩ් වයිරසය ලෝකයේ හඳුනා ගැනීමක් නොමැති වුවත් නිපා වයිරසයේ අතීත කතාව දිවයන්නේ 1998 වසර වෙතයි. එය පළමුවරට මැලේසියාවෙන් හඳුනාගත් අතර පසුව එය සිංගප්පූරුව දක්වාද ව්‍යාප්ත වන්නට විය. එය මුලින්ම හඳුනාගනු ලැබුවේ ඌරුකොටු ආශ්‍රිත රැකියාව කරනු ලබන සේවකයන් ආශ්‍රෙයනි. එම වසරේදී ඌරු කොටු ආශ්‍රිතව 300කට පමණ ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මොළය මෙන්ම ශ්වසන මාර්ගය ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. මේ කරුණු උපුටා දක්වමින් අමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කරනු ලැබුවේ එම වසරේදී 300 දෙනකුට පමණ වයිරසය ආසාදනය වූ බවත් පුද්ගල මරණ 100ක් පමණ වාර්තා වූ බවත්ය. මෙම වයිරසයේ භයානකත්වය කවරේද යත් මැලේසියානු රජය විසින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ඌරන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කිරීමට පියවර ගත්හ. ඉන් ඔවුන් මූලිකවම අවබෝධ කරගත් කාරණාව වූයේ මෙම වයිරය සම්ප්‍රේෂණය වන්නේ සතුන් මඟින් බවය. මැලේසියාවෙන් හටගැනුණු මෙම වයිරසයේ ව්‍යාප්තිය ආසාදිත සතුන්ගේ මල මූත්‍රා, ඛේටය සමඟ මිනිසා ඍජුව ගැටීමෙන් සම්ප්‍රේෂණය වන බව තවදුරටත් හඳුනා ගැනිණි.
මැලේසියාවෙන් පසුව මෙකී නිපා වයිරසය ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව වැනි රටවලටද ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. වර්තමාන කේරලයට නිපා වයිරසය පැමිණීමට ප්‍රථම ඉන්දියාවේ මෙම වයිරසයේ පැතිරීම වාර්තා වූයේ 2018 වසරේදීය.
වයිරසයේ පැතිරීම
මේ වන විට වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට මෙම වයිරසය ශාක භක්ෂක වවුලන්ගෙන් ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇති අතර යම් විටක ඌරන් ඇතුළු සත්ත්වයින්ටද ආසාදනය විය හැකි බව පවසයි. මෙම ශාක භක්ෂක වවුලන් අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැඩගස්කරය හා ඔස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්තව සිටින බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන වෛද්‍යවරුන්ගේ මතයය. විශේෂයෙන් පෙර සඳහන් කළ පරිද්දෙන් වයිරසය සහිත වවුලන් විසින් ආහාරයට ගනු ලබන පලතුරු එම සතුන්ගේ ඛේටය හා මලමූත්‍රා සමඟ ගැටීමෙන් පසු එය ආහාරයට ගන්නා මිනිසුන් මෙන්ම සතුන් හරහා වයිරසය ව්‍යාප්ත වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
නිපා වයිරසය ආසාදනය වූ රෝගීන්ගේ ලක්ෂණ ලෙසින් මේ වන විට දක්වා ඇත්තේ උණ සමඟ හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය වැනි රෝග ලක්ෂණ මතුවන අතර සුළු පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් නිපා වයිරසය ශරීර ගතවී දින 21 දක්වා කාලය තුළදී බොහෝ දෙනෙකුගේ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.
කේරලයට ආ නිපා
පසුගිය සතියේ නිපා වයිරසය ශරීරගත වූ රෝගීන් සය දෙනකු සොයා ගැනීමට සමත්වීමත් සමඟ කේරලය මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමට තීරණය කරනු ලැබුවේ කොවිඩ් වසංගතයේදී සිදුවුණු ඇබැද්දිය හොඳින්ම මතකයේ තිබෙන නිසා වන්නට පුළුවන. ඔවුන්ගේ මෙම මෙහෙයුම ආරම්භ වන විටම වයිරසය ශරීරගතව තිබූ රෝගීන් දෙදෙනකු මිය ගොස් තිබිණි. මේ හේතුවෙන් එම රෝගීන් ගැවසෙන ස්ථාන පිළිබඳව වඩා විමසිලිමත් වූ අතර එම ස්ථානයන් පරීක්ෂාවට ලක් කරමින් දැඩි පරීක්ෂණ කටයුතු ඇරඹීය. මන්ද මුල් අවස්ථාවේ සිටම ඔවුන්ගේ සැකයකට ලක් වූ කාරණාව වූයේ නිපා වයිරසය ද කොවිඩ් වයිරසය මෙන්ම විනාශකාරී අනාගතයකට හිමිකම් පෑමට සූදානම්ව ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට නිපා වයිරසය යනු එසේ මෙසේ වයිරසයක් ද නොවේ. ඔවුන් දක්වා ඇති අන්දමට මෙහි මරණීය අනුපාතය ලෙසින් දැක්වෙන්නේ 40% සිට 75% දක්වා ප්‍රමාණයකි. ඒ අතරම ඔවුන් ප්‍රකාශ කරනු ලැබ සිටියේ මේ මොහොත දක්වාත් නිපා වයිරසයේ ප්‍රතිවිපාක මැඬලීමට එරෙහි වන ආකාරයේ වයිරසයක් සොයා ගෙන නොමැති බවයි.
මේ ආකාරයට වවුලන් සහ ඌරන් අතර පමණක් ව්‍යාප්ත වෙමින් තිබූ වයිරසය යළිත් හිටි හැටියේ ක්‍රියාශීලි වන්නට පටන් ගත්තේ ඉන්දියාවෙනි. 2018 වසරින් පසු හතරවන වරටත් කේරලයෙන් මතු වූ නිපා වයිරසය හේතුවෙන් කේරලය ලොක් ඩවුන් කිරීමේ තත්ත්වයකටම පත් වූයේ කොවිඩ් වසංගත සමය යළි සිහිකරමිනි. මේ ආකාරයෙන් කේරල ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු බලාපොරොත්තු වූයේ තවදුරටත් වයිරසය පැතිරීමේ අවදානම තුරන් කිරීමයි. ඒ අතරම ඉන්දීය සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කරනු ලබන්නේ නිසි අයුරින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිනු නොලැබුවහොත් වඩා බරපතළ තත්ත්වයකට පත් විය හැකි බවයි. එසේම ඔවුන් කේරල වැසියන්ගෙන් කරනු ලබන ඉල්ලීම වන්නේ ද කොවිඩ් 19 සමයේ මෙන් මුහුණු ආවරණ පලඳින ලෙසයි. එසේ නිසි සෞඛ්‍ය පුරුදුවලට මුහුණ දුනහොත් පමණක් මෙය පාලනය කළ හැකි බව ඔවුන්ගේ මතයයි.
කේරලයේ කතාව එසේ වන විට නිපා වයිරසය ඉන්දියාව ඇතුළු ආසියාතික රටවලට ද පැතිර යාමේ අවදානමක් ඇතිවන්නට විය. ඒ අතරට බංග්ලාදේශය, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල මේ වන විට වයිරසය පැතිරී ඇති බවට වාර්තා වේ. මෙම රෝගය පාලනය කර ගැනීමට නම් වයිරසය නිරාවරණය වූ ප්‍රදේශවල ඌරන් සහ වවුලන් පාලනය කළ යුතු බව පැවසේ.
කොයිහැටි වෙතත් මේ වන විට කොවිඩ් වයිරසය මෙන්ම නිපා වයිරසය පැතිර යාමේ වේගවත්භාවයක් දක්නට නොමැති වුවද එය කොයි මොහොතේ වෙනස් වනු ඇතැයි කිසිවකුටත් කිව නොහැකිය. මන්ද තවමත් එය පවතින්නේ ළදරු අවධියේ වීම නිසාය.