නෙදර්ලන්තයේ වෛද්‍ය සිසුවකු විසින් රොටර්ඩෑම් නුවර ස්ථාන දෙකක සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. නගරයේ නිවෙසකට ඇතුළු වී 39 හැවිරිදි කාන්තාවකට සහ ඇයගේ 14 හැවිරිදි දියණියට වෙඩි තැබූ එම තරුණයා පසුව නිවෙසට ගිනි තබා ඇතැයිද වාර්තා වේ. ඔහුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දියණිය රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පළමු වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහු එරස්මස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සිටි 46 හැවිරිදි වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, එම වෙඩි ප්‍රහාරයත් සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි සෙසු වෛද්‍යවරුන් හා හෙදියන් හිස් ලූ ලූ අත දිව ගිය බවද වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසු එම සිසුවා වෛද්‍ය මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති අතර, ඔහු එහිදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. 32 හැවිරිදි වෛද්‍ය සිසුවා එම විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලබන බව පසුව අනාවරණය වී තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් සොයාගෙන නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.