දරිද්‍රතාවෙන් මුදාගෙන සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව චීනය අවධාරණය කරයි. චීනය විසින් සිදුකරන අධිවේගී සංවර්ධන ගමන්මඟට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොන් මහතා ප්‍රකාශ කරයි.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ උත්සවය කොළඹ දී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොන් මහතා මෙසේද පැවසීය.
“චීනය සිදුකරන අධිවේගී සංවර්ධන ගමන්මඟට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගන්නවා. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් යෝජනා කළ එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය අප මේ වසරේ සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ආදී අප දෙරට අතර ඇති ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබීම ගැනද වඩාත් සතුටු වෙනවා.
පසුගිය දශක කීපයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සහ සියලුම ජනතාව සඳහා වන අතර අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම ද සිදුකර තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේ දී චීනය සිය සහයෝගය ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබාදුන්නා. එහිදී හදිසි ආධාර ලබාදීම පමණක් නොව, ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ණය අර්බුදය සමඟ නිසි අයුරින් කටයුතු කිරීමට පළමුව සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ද චීනය විසින් කර තිබෙනවා.
වඩාත් වැදගත් දේ නම්, ‘දරිද්‍රතා උගුලෙන්’ සහ ‘අසංවර්ධනයේ උගුලෙන්’ මිදී, එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම චීනය ශ්‍රී ලංකාවට ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට අඛණ්ඩව සහාය ලබාදීමයි” යනුවෙන් පැවසීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුලෝචන ගමගේ
මහින්ද අලුත්ගෙදර