Home » පාසල්වලට අලුතින් ගුරුවරුන් බඳවාගන්නේ පළාතෙන්මයි

පාසල්වලට අලුතින් ගුරුවරුන් බඳවාගන්නේ පළාතෙන්මයි

අගමැති දිනේෂ් ගුණවර්ධන

by gayan
September 30, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර සහ පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ
අගමැතිවරයා සිසුවකුට පාසල් උපකරණ පිරිනමමින්...

කිසිම විෂයකට පුරප්පාඩුවක් නැතිවන ආකාරයට පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

චීන රජයෙන් කළ පරිත්‍යාගයක් වූ පාසල් උපකරණ කට්ටල හා ඇඟලුම් ලබාදීමේ ‘සීතාවක සිසු අරුණලු’ වැඩසටහනේ තවත් පියවරක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) හංවැල්ල, තුන්නාන විද්‍යාලයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දුන් රුපියල් මිලියන සියයකට අධික වටිනාකමකින් යුත් පාසල් උපකරණ 11,000ක් සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 43,000ක් අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවශ්‍යතා ඇති දරුවන්ට බෙදාදීම මේ වැඩසටහන යටතේ සිදු කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ ද පැවසීය.

Òතුන්නාන විද්‍යාලයට පැමිණ මේ පරිත්‍යාගය දරුවන්ට ලබාදීමට හැකිවීම ගැන සියලු දෙනා සමඟ එකතුව මමත් සතුට බෙදා ගන්නවා. අපි මේ හැම පාසලකටම චීන රජයෙන් දුන්න මේ සම්පත් පරිත්‍යාග කිරීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ පසුගියදා මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. අපේ පළාතේ පාසල් පනස් දෙකක් තියෙනවා. ඒ පාසල්වල ප්‍රාථමික අංශයේ දාහතර දහස් පන්සීයක දූදරුවන්ට මේ සම්පත් ලැබෙනවා. එය දරුවන්ගේ අධ්‍යාපනය සහ දියුණුව පිණිස බෙදා දෙනවා. හොඳට ඉගෙන ගන්න. අධ්‍යාපනයේ කේන්ද්‍රය තමයි දැනුම වර්ධනය කර ගැනීම. දැනුම කාටවත් උදුර ගන්න බැහැ. අනිත් ඕනෑ දෙයක් උදුර ගන්න පුළුවන්. නමුත් රැස්කර ගන්නා දැනුම ජීවිත කාලයටමයි. ඔබේත්, ගමේත්, රටේත්, අනාගතය වෙනුවෙන් එය යොදා ගන්න පුළුවන්. මේ පාසලෙන් ඔබට දෙන දැනුම මුල්ගලක් ලෙස ඉතාම ශක්තිමත් ලෙස උපයෝගී කරගන්න. මුලින් වැදගත් වන්නේ පදනමයි. භාෂාව හොඳින් හසුරවපු අපේ භික්ෂූන් වහන්සේලාගේ පින්බිමයි මේ. අපි තීරණය කළා අලුතෙන් ගුරු පුරප්පාඩු පිරවීමට බඳවා ගැනීමේදී අදාළ පළාතෙන්ම බඳවා ගන්න. කිසිම පාසලකට, කිසිදු විෂයකට. ගුරු පුරප්පාඩුවක් නැතිවන විදියට තමයි නව බඳවා ගැනීම් කරන්නේ.

උපාධිධාරීන් වෙනුවට ගුරු පුහුණුව ලැබූ අය විශේෂයෙන් බඳවා ගැනීමට පියවර ගන්නවායැයිද අගමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT