මෙරට ශීඝ්‍රයෙන් වැඩි වන රථ වාහන අනතුරු අවම කරගැනීමට සහ ඊට විසඳුම් සලසා ගැනීමට කඩිනමින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය සමිත ධර්මරත්න මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ මාර්ග ආරක්ෂාව පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩමුළුවකට එක් වෙමිනි.
මේ තත්තවය මෙලෙස පැවතුණ හොත් ඉදිරි වසර 20ක කාලය තුළ මාර්ගයේ 60,000ක් පමණ මිය යනු ඇතැයිද හෙතෙම කියා සිටියේය. වසරකට මරණ 3,000ක් සිදු වුව හොත් වසර 20ක් යන විට මරණ 60,000ක් දක්වා වර්ධනය විය හැකියි. එම කාලය තුළ 400,000ක් පමණ අබාධිත විය හැකියි. මේ අනතුරු හේතුවෙන් පසු ප්‍රථිකාර සඳහා රු. බිලියන 200ක් පමණ වැය වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
“අනතුරු අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිටි ජනාධිපතිවරුන් තිදෙනකු දැනුවත් කරා. අවම ක්‍රියාත්මක වීම් පවා සිදු වූයේ නැහැ. අනතුරක් හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ජීව්ත කාලය පුරා ආබාධිත විය හැකියි. ඉන් රජයට සහ එම පවුලේ අයට ඇති වන තත්ත්වයන් බරපතළයි. සෑම අවස්ථාවකම කටයුතු කළ යුත්තේ අනතුරු අවම කරගැනීමටයි. ඒ සඳහා කටයුතු කිරිමට මාධ්‍යටත් වගකීමක් තිබෙනවා” යැයිද හෙතෙම කියා සිටියේය. මෙරට සෞඛ්‍ය සඳහා වෙන් කරන පිරිවැයෙන් 10%ක් රථවාහන අනතුරු සඳහා වැය කරන බව එහිදී වෛද්‍ය සමිත මහතා පෙන්වා දුන්නේය.
2023 වසරේදී අගොස්තු මාසය දක්වා දිවයින පුරා සිදු වූ රිය අනතුරු 16,496ක් බවත් ඉන් 1,539ක් මිය ගොස් තිබෙන බවත් මේ අවස්ථාවට එක් වූ රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දුන්නේය.
මේ වසරේ සිදු වූ අනතුරු වලින් 1452ක් මාරක රිය අනතුරු යැයිද 4210ක් බරපතල අනතුරු ලෙස වාර්තා වී ඇතැයිද හෙතෙම කියා සිටියේය. මෙම අනතුරු වලින් යතුරු පැදි කරුවන් 482ක්, රියැදුරන් 106ක්, මගීන් 181ක්, පසුපැදිකරුවන් 141ක් වෙනත් පුද්ගලයන් 09ක් මෙලෙස මරණයට පත්ව ඇතැයිද ඉන්දික හපුගොඩ මහතා මේ වැඩමුළුවට එක් වෙමින් පෙන්වා දුන්නේය. මේ කාලය තුළ බීමත්ව රිය පැදවූවන් පරීක්ෂා කිරීමේදී යතුරු පැදි 40,373ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ත්‍රි රෝද රථ 6285ක් වාර්තා වී ඇති බව කියා සිටි ඉන්දික හපුගොඩ මහතා රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් බහුතරයක් අවුරුදු 18-28 අතර තරුණ වයසේ පසුවන්නන් යැයිද කියා සිටියේය. මාර්ග නිති උල්ලංඝනය කිරිම හෙතුවෙන් අනතුරු 1,117ක් සිදුව ඇති අතර එහිදි පුද්ගලයන් 50ක් මියගොස් තිබෙනවා. අන්තරාදායක ලෙස රිය පැදවීම හේතුවෙන් අනතුරු 8407ක් සිදුව තිබෙනවායැයි කී ඒ මහතා එම අනතුරු හේතුවෙන් 970ක් මියගොස් ඇතැයිද කීවේය.
මේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීමේ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත් සිරිතුංග මහතා කියා සිටියේ අනතුරු හේතුවෙන් ආබාධිත තත්තවයට පත් වන දහසක් දෙනා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. අනතුරක් වූ වහාම තුවාල ලැබූවන්ට ප්‍රථමාධාර ලබා දීම දක්වා වී ක්‍රියාවලිය වැදගත් බවත් පාසල් අධ්‍යාපනයේ සිට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිම් කළ යුතු බවත් කියා සිටියේය.
මේ අවස්ථාවට එක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ මෙරට ඇති වයන රිය අනතුරු අවම කරලීම සඳහා මාධ්‍යවේදීන්ගේ සහාය අපේක්ෂා කරන බවයි. රිය අනතුරුක් සිදු වී ඒ සම්බ්නධයෙන් වාර්තා කරන අවස්ථාවේදී සත්‍ය තොරුතුරු සොයා වාර්තා කරන ලෙස ඉල්ලා සිටි ඒ මහතා මාධ්‍යට අවශ්‍ය තොරතුරු දී රිය අනතුරු සිදු වීම වළක්වාගැනීමට සහාය වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක, මාර්ග සංවර්ධන අධීකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. චන්ද්‍රකුමාර මහතාද අදහස් දැක්වීය.