ශ්‍රී ලංකාවේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අප රටටම ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
අපේ රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකම වන අතර රටට දෛනිකව අවශ්‍ය මස් හා කිරි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන බැවින් මේ නව පර්යේෂණ ඇරඹීමට ඇමැතිවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
අප රටට අවශ්‍ය දෛනික ගව මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,000ක් වන අතර මෙම මස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. එමෙන්ම කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ සියයට 40ක් පමණි. කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මඟිනි. මේ නිසා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවා ගත හැකි තාක්ෂණය ගොවීන්ට නොලැබීමත්, වැඩිපුර කිරි නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොවීමත් ප්‍රධාන ගැටලුවක් වේ. දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සඳහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වේ.
මේ නිසා අපේ රටේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අප රටටම ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ඇරඹීම වහා සිදු කළ යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. මෙහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇමැතිවරයාට දැනුම් දී ඇත්තේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5 – 7ක් දක්වා කාලයක් ගත වන බවත් දැනට නැඟෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බවත්ය. එමෙන්ම කොට්ටුකච්චිය ගොවිපළේ නිපදවන ලද කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද සඳහන් කර ඇත. අපේ පශු සම්පත් අංශ දැනට අවුරුදු පහකට කලින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ නම් මේ වනවිටත් අපේ රටට ගැළපෙන ගවයින් හා එළුවන් විශේෂ නිපදවා ගත හැකිව තිබූ බවත් නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීම නිසා අද රටට අවශ්‍ය කිරි හා මස් ප්‍රමාණය අපිට ආනයනය කිරීමට සිදුව ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති අමරවීර මහතා අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් අපේ රටේ දේශගුණයට ගැළපෙන ගවයින් හා එළු විශේෂ දෙකක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වහාම ඇරඹිය යුතු බව ඇමැතිවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
බුද්ධිකා ඉඹුලාන