මාළු කපන මන්නා පිහි පෙන්වා කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑම, පිංවත්ත සුපිරි වෙළෙඳ සලක් කොල්ලකෑම සහ මහ බැංකු විශ්‍රාමික නිලධාරියකුට මන්නා පිහියකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්ව ඇත.
වාද්දුව සහ ප්‍රදේශයේ පදිංචි 26 සහ 37 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් පසුගිය 24 වැනි දා මහ දවාලේ පිංවත්ත සුපිරි වෙළෙඳ සලකට ඇතුළුව මාළු කපන මන්නයක් පෙන්වා මුදල් අයකැමි බියගන්වා ලාච්චුවේ තිබූ රුපියල් හතළිස් දහසක්, එහි පැමිණ සිටි කතකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගොස් තිබුණි. එම කොල්ලකෑම සිදුකර පලායන අතරතුර මාදුපිටිය ප්‍රදේශයේ මහමඟ ගමන්ගත් විශ්වවිද්‍යාල සිසුවියක සහ තවත් තරුණියක බියගන්වා ගෙල බැඳි රන් මාලයක්, ජංගම දුරකතනයක් සහ අත්බෑගය සහ වටිනා ලිපිගොනුවක්ද කොල්ලකා යමින් සිටියදී අළුබෝමුල්ල සහ බණ්ඩාරගම ප්‍රදේශයේ තවත් කතුන් දෙදෙනකු බියගන්වා රන් මාල දෙකක්ද කොල්ලකා ඇති බව පොලිසිය කීය.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොල්ලකෑම සඳහා යොදාගත් මාළු කපන මන්නය, පිහියක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කොල්ලකෑ රන්මාල දෙකක්, පෙන්ඩනයක්, ජංගම දුරකතනය, කාන්තා අත්බෑගය සහ ලිපිගොනුව සොයාගත් බවද වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
පානදුර සහකාර පොලිස් අධිකාරී (වැබ) නිශාන්ත සේනාරත්න සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ.කේ.සී. මධුසංක, කොස්තාපල්වරුන් වන චානක (36249), නන්දන (53329), දිසානායක (97884) වැටලීමට එක් වූහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක