Saturday, May 10, 2025
Home » දුරකතනය ඉස්සූ හොරුන් හඹා ගිය මේසන් බාස් හොරකුගේ පිහි පහරින් මියයයි

දුරකතනය ඉස්සූ හොරුන් හඹා ගිය මේසන් බාස් හොරකුගේ පිහි පහරින් මියයයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

තම ජංගම දුරකතනය සොරාගෙන පලා යමින් සිටි දෙදෙනකු පසුපස හඹා ගිය පෙදරේරුවකු ඒ සොරුන්ගේ පිහි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මොනරාගල නමුණුකුල පදිංචිව සිටි කේ.එම්. ධනුෂ්ක රුවන් කුමාර නමැති දෙදරු පියෙකි. ගල්කිස්ස බොරුපන පැරකුම් මාවතේ ඉදි කරමින් පවතින නිවෙසක පෙදරේරුවන් දෙදෙ‍නකු එහි වාඩියක නිඳා සිටියදී ඊයේ (29) අලුයම 3.30ට පමණ දෙදෙනකු වාඩියට ඇතුළු වී ජංගම දුරකතනයක් සොරාගෙන තාප්පෙන් පැන පලා යෑමේදී පෙදරේරුවන් දෙදෙනා ඔවුන් පසුපස හඹා ගොස් තිබූ බව පොලිසිය කියයි. මීටර් 100ක පමණ දුරක් හඹා ගිය පෙදරේරුවන් දෙදෙනා සොරුන් දෙදෙනා අල්ලාගෙන තිබූ අතර, එහිදී එක් සොරකු සඟවාගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවකුගේ පපුවට ඇන ඇති බවත්, ඉන් අනතුරුව සොරාගත් ජංගම දුරකතනයද එම ස්ථානයේ අත්හැරදැමූ සොරුන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි. මෙහිදී අනෙක් පෙදරේරුවා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුට මේ බව දුරකතනයෙන් දැනුම් දී තිබේ. ඔහු පැමිණ තුවාල ලබා සිටි පෙදරේරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔහු මියගොස් තිබිණි.

සොරකමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට ලැබී ඇති අතර ඉතා ඉක්මනින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබිණි.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත‍, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති (පො.ප) අමිල ගෝවින්න, පොලිස් සැරයන් (61189) රත්නායක මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT