Home » හරක් කටා පන්නන්න හැදූ පීසීගේ-රියැදුරුගේ දුරකතන කඩවත හෝටලයක් ළඟදී පුච්චලා

හරක් කටා පන්නන්න හැදූ පීසීගේ-රියැදුරුගේ දුරකතන කඩවත හෝටලයක් ළඟදී පුච්චලා

by gayan
September 30, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට පැන යෑමට සැලසුම් කර තිබූ අසාර්ථක මෙහෙයුමේදී කොස්තාපල්වරයා සහ හරක් කටා කැටුව යෑමට සූදානම් කර තිබූ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකතන දෙක කඩවත ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුලුස්සා තිබියදී ඊයේ (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් 10 දින සැකකාර කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට සැත්කම්වලදී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සහ මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග කලවම් කර සාදන ලද කිරිටොපි දී මත් කර, නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට තැත් කර, එය අසාර්ථක වීමෙන් අනතුරුව පලා ගොස් අදට දින 20කි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජී. නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ඒමෙන් අනතුරුව ඔහු රැගෙන යෑමට ඉකුත් 10 දින සූදානම් කර තිබූ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ සහායකයා වැලිගම මුහුදු පාරේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ දිනේෂ් තරංග යන සැකකරු සහ අනෙක් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව, ඉකුත් 10 දින කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට දිව ගෙන පැමිණෙන අවස්ථාවේ සිට මෝටර් රථයෙන් කඩවතට යන අවස්ථාව දක්වා මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය මෙන්ම රියැදුරු වන සැකකරු මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය කඩවත අධිවේගී මාර්ගයට පිවිසුම ආසන්නයේ ශ්‍රමදාන මාවතේ හෝටලයක් අසල කසළ ගොඩකට දමා ගිනි තැබූ බව අනාවරණය වීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අඩක් පිලිස්සී තිබූ දුරකතන දෙක සොයා ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ ජංගම දුරකතන දෙක සොයාගන්නා අවස්ථාවේ ඉතා කුඩා කොටසක් පමණක් පිලිස්සී තිබූ බැවින් විමර්ශන සඳහා යොදාගෙන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට කරගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර පළාත් පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජී. නිශාන්ත පොලිස් පරීක්ෂක මහේෂ් මහේෂ්, උප පොලිස් පරීක්ෂක මහේෂ් කොස්තාපල්වරුන් වන (90311) සංජීව, (100332) විජේකෝන්, (104013) කුමාර, (104006) වීරසිංහ, (11509) චතුරංග මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT