Saturday, May 10, 2025
Home » වැස්ස දිගටම දිස්ත්‍රික් 7කට නාය අනතුරු

වැස්ස දිගටම දිස්ත්‍රික් 7කට නාය අනතුරු

by gayan
September 30, 2023 1:00 am 0 comment

රට පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළි දිස්ත්‍රික්වලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්විණි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු වන අතර උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එහි පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇති වෙයි. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

ගෙවුණු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ රත්නපුර ගුරුළුවන ප්‍රදේශයෙනි. එහි අගය මි.මී. 152.4කි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 7ක හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

ගාලු දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, කෑගලු දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ වන පරිදි ඒ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

 

සුභාෂිණී සේනානායක, උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT