පුහුණුලාභීන් වශයෙන් බඳවාගෙන සිටින බහුකාර්ය සංවර්ධන සහායකයන් සියලු දෙනා හට එළඹෙන ඔක්තෝබර් මස අවසානය වන විට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ බහුකාර්ය සංවර්ධන සහායකයන් ස්ථිර කිරීමේ පළමු අදියර යටතේ 267 දෙනකුට කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය සඳහා එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා:
“රජය මගින් 2020 වර්ෂයේදී පුහුණුලාභින් ලෙස බහුකාර්ය සහයකයන් 34,700ක් බඳවාගත්තා. එයින් මේ වන විට සේවයේ සිටින්නේ 29,000ක් වැනි පිරිසක්. ඔවුන්ගෙනුත් වැඩි පිරිසකට මේ වන විට රාජ්‍ය ආයතනවල ස්ථිර පත්වීම් පිරිනමා තිබෙනවා. ඉතිරි පිරිසටත් ඉතා ඉක්මනින් ස්ථිර පත්වීම් දී ලබන මාසට වන විට මේ වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.
ඒ වගේම අවුරුදු 10ක් 15ක් වැනි කාලයක් සේවය කළ අයගෙන් මේ වන විටත් ස්ථිර නොකර සිටින 3000ක් වැනි පිරිසක් ස්ථිර කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ස්ථිර පත්වීම් දුන් සැමට තම පදිංචි දිස්ත්‍රික්කය තුළ පත්විම් දීමට අප කටයුතු කර තිබෙනවා. ඉතිරි සියලු දෙනාටත් ආසන්නම ස්ථානයකට පත්විම් දීමට අවශ්‍යව ඇති පුරප්පාඩු තිබෙන ස්ථාන මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා පත්වීම් සකස් කරමින් පවතිනවා. මේ වසරේ නොවැම්බර් මාසය වන විට මේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.”
මේ අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, සුජිත් සංජය මහත්ම මහත්මීන් සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරයා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.