Home » අයහපත් කාලගු ණයෙන් පවුල් 164ක 644කට බලපෑම්

අයහපත් කාලගු ණයෙන් පවුල් 164ක 644කට බලපෑම්

by gayan
September 30, 2023 1:00 am 0 comment

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 164ක පුද්ගලයන් 644ක් ඊයේ (29) පස්වරුව වන විට බලපෑමට ලක්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. අර්ධ නිවාස හානි 36කි.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ දෙවැනි සහ පළමු අදියරේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් අද (30) දහවල් 12 දක්වා වලංගු වන පරිදි දීර්ඝ කර තිබේ.

ඒ අනුව, නෙළුව, ඉංගිරිය, පස්බාගේ කෝරළය, පිටබැද්දර, කොටපොළ, කලවාන, අයගම, ඇහැළියගොඩ, රත්නපුර, ඇලපාත, කුරුවිට, පැල්මඬුල්ල, නිවිතිගල, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ අවධානයෙන් පසු වීමේ දෙවැනි අදියරයේ නිවේදනයද ඇල්පිටිය, වලස්මුල්ල, මතුගම, වළල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, කෑගල්ල, මුලටියන, අතුරලිය කොළොන්න, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෙෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමු අදියරේ නිවේදනයද නිකුත් කර ඇත.

ඊයේ (29) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 120ක් ලෙස කුකුළේගඟ ප්‍රදේශයෙන් සටහන් විය. නිල්වලා ගඟ ද්‍රෝණිය, ගිංගඟ ද්‍රෝණිය, කළු ගඟ කුඩාගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් අද (30) පෙරවරුව දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබේ. විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශය හරහා ගලා බසිනා ප්‍රධාන ගංගා අධික ජල ගලන මට්ටමකට පත්ව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර මහතා පැවසීය. ඇතැම් ගංගාවන් සාමාන්‍ය මට්ටමේ ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

නිල්වලා ගඟේ, පහළ එනම් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ, මාතර සහ අතුරලිය යන ප්‍රාදේශීය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ අවට පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් පවතිනවා. උඩුගම, බද්දේගම ඇතුළු ගිංගඟ පහළ ප්‍රදේශවල පවතින ජල මට්ටමද ඊයේ (29) පස්වරුව වන විට යම් වර්ධනයක් විය හැකිව පැවැතියා. කළු ගඟේ කුඩා ගඟ අතු ගංගාවේ ගංවතුර නිම්නය ගංවතුර තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කැලණි ගඟේ ජල ගලනය අධික වී තිබෙනවා. තවම කැලණි ගං ද්‍රෝණිය ගංවතුර තත්ත්වයකට පත් වීමේ ඉඩකඩක් නැහැ. එය ඉදිරියේදී තීරණය වෙන්නේ ඇති වන වර්ෂා තත්ත්වය අනුවයි. අත්තනගලු ඔයේද ජල ගලනයන් සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. කොටසකට වර්ෂාව පැවතියත් සමස්තයක් ලෙස වාරි ජලාශවල ජලය පවතින්නේ 27%ක පමණ ප්‍රමාණයක්. විදුලි බලාගාර ආශ්‍රිත ඇතැම් ජලාශවලට යම් වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. කුකුලේ ජල විදුලි බලාගාරයේ සහ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේ මිහිදුම් තත්ත්වයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT