2023 වසරේ සැප්තැම්බර් මස 28 වැනි දින රාත්‍රියේ, චීනයේ මැද-සරත් මංගල්‍යයට පෙර, මියන්මාරයේ විශාලතම නගරය වන යන්ගොන්හිදී යුන්නාන් පළාතේ මහජන රජයේ තොරතුරු කාර්යාලය සහ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා යුන්නාන් පළාත් ජනතා සංගමය විසින් “සුපිපෙන පුෂ්ප සමඟ පුරසඳ” ජාත්‍යන්තර මැද-සරත් උළෙලක් සංවිධානය කරනු ලැබිණි. චීන- මියන්මාර් කලාකරුවෝ 50කට අධික පිරිසක් දිගු ඉතිහාසයක් ඇති දෙරටේ ම සමෘද්ධිමත් සම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට සහ වසර දහස් ගණනක් ඉපැරණි ”බාඕ බෝ” මිත්‍රත්වය නිරූපණය කිරීම සඳහා විශිෂ්ට ප්‍රසංගයන් සමග අත්වැල් බැඳ ගත්හ. (”බාඕ බෝ” යනුවෙන් බුරුම භාෂාවෙන් අදහස් වන්නේ සහෝදර සහ සහෝදරත්වය යන්න ය.)
චීන චමත්කාරය අපූර්ව ආකාරයකින් විදහා දැක්වෙන යන්ගොන්හි පෙරදිග මාලිගාවේදී “සඳ ලුහුබැඳ යන විචිත්‍රවත් වලාකුළු” මැයෙන් ප්‍රේක්ෂක සිත්සතන් චමත්කාරයෙන් උණුසුම් කරවන අපූර්ව නර්තන ප්‍රසංගයක් ආරම්භ කෙරිණි. එමෙන් ම, “සඳ එළිය, ලෝකය ම කරුණාවෙන් ස්නානය කරවමින් ද සෞම්‍ය සුවයෙන් අපව යළි වැළඳ ගනී” යන සුන්දර දර්ශන තලයක් ද නිරූපණය කෙරිණි. මෙම උළෙල සැමරීමට මියන්මාරයේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ ද චීනයේ යුන්නාන් සිට පැමිණි දූත පිරිසක් ද ඇතුළු දහසකට අධික පිරිසක් ප්‍රීතියෙන් එක්රැස් වූහ. මෙකී ජාත්‍යන්තර මැද-සරත් උළෙල යනු 2023 වර්ෂයේ” සුපිපෙන පුෂ්ප සමඟ පුරසඳ”යන මියන්මාරයේ මැද-සරත් සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම්වල විශේෂත්වයක් ම වන්නේ ය. එය කොවිඩ්-19 වසංගතයෙන් පසු චීනය විසින් මියන්මාරයේ පවත්වන ලද පළමු අතිදැවැන්ත සංස්කෘතික හා කලාත්මක ප්‍රසංගය ද වේ.
චීනය සහ මියන්මාරය කඳු සහ ගංගා අතරින් සම්බන්ධ වී ඇති අතර, දෙරට අතර මිත්‍රශීලී හුවමාරුව වසර දහස් ගණනක් තිස්සේ බාධාවකින් තොරව අඛණ්ඩව පැවැත එයි. මියන්මාරයට මායිම්ව පිහිටි යුන්නාන් පළාත යනු දෙරට අතර අතිශය වැදගත් මිත්‍රත්ව දොරටුවක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. වසර ගණනාවක් පුරා රටවල් දෙක අතර ආර්ථික, සංස්කෘතික සහ සිවිල් හුවමාරු නිරන්තරයෙන් ම දක්නට ලැබේ.
“සඳ දීප්තිමත්ව බබළන විට, එය කඳුකරයේ ගැඹුරෙහි සිටින මාගේ සුපෙම්වතාව මාහට සිහිපත් කර දේ.” පෙරදිග රාත්‍රී ගීතයී (වැරබ`රු) නම් ‘සුකොමළ නදිය ගලා බසී නමැති ගීතය වාදනය වන විට, චීන නර්තන ශිල්පියන් ඉතා අලංකාර ලෙස රඟමඩලට අවුත් එක්සැණි ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණයට පත් කරගත් ආකාරය සැබැවින් ම අපූරු දසුනක් ම විය. මෙම ගීතයෙන් යුන්නාන්හි ‘තවලම් සංස්කෘතියේ එන සුසංවේදී ආදර කථාවස්තුවක් විදහා දැක්වේ. යුන්නාන් තවලම් ප්‍රජාව වසර සියවස් ගණනාවක සිට පුරාණ නිරිතදිග සේද මාවත ඔස්සේ වෙළඳාම් හා සන්නිවේදන කටයුතුවල නිරත වෙමින් මියන්මාරය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ වී ඇත.
“මා උඩු ගඟේ දිය මත වෙසෙන අතර ඔබ එහි වලිගයේ වාසය කරන්නෙහි. අප එකම ගඟක දිය පානය කරන බැවින් අප එකිනෙකා කෙරෙහි වූ ස්නේහයට සීමා මායම් නැත.” ‘එකම නදියක දිය පානයි නම් මෙම ගීතය, 1956 දී මියන්මාරයේ සිදු කළ සංචාරයේදී එවකට චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ චෙන් යී මහතා විසින් රචනා කරන ලද “මගේ බුරුම මිතුරන් වෙත” යන කාව්‍යය ඇසුරින් නිර්මාණය කරනු ලැබූවෙකි. චීනය සහ මියන්මාරය අතර ඇති සදාකාලික සැබෑ මිත්‍රත්වය අඛණ්ඩතාවයකින් මනාව ගලා යන නදියක් ලෙස මෙයින් සංකේතවත් කෙරේ.
ඉහත ප්‍රසංගයේදී එකී ‘එකම නදියක දිය පානයි නම් ගීත කාව්‍යය ප්‍රතිනිර්මාණය කරන ලැබූ අතර චීන-මියන්මාර කලාකරුවන්ගේ සහයෝගී ප්‍රයත්නයෙන් එය එම ප්‍රසංග ශාලාව පුරා කෙතරම් මනස්කාන්තව දෝංකාරය දුන්නේ ද යත් නිරායාසයෙන් ම ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් එම ගායනයට තම හඬ ද එක් කරමින් සජීවීව ම අත්වැල් අල්ලන්නට වූහ. මෙකී උළෙල පුරාවට ම, දෙරටේ ම කලාකරුවන් විසින් ස්වකීය සමෘද්ධිමත් සංස්කෘතික ලක්ෂණ විදහා දක්වමින් ඉතා මනහර අපූර්ව ප්‍රසංග මාලාවක් ම ඉදිරිපත් කරනු ලැබිණි. මියන්මාරයේ ජාතික වස්තු ලෙස සැලැකෙන රූකඩ නැටුම්, මින්ගලාඛා (බුරුම භාෂාවෙන් අදහස් වන්නේ “ආයුබෝවන්” යන තේරුම) නම් නැටුම්, හුලුසි (චීන කරවිල නළාව) මත වාදනය කරන ලද උණ පඳුරු අරමේ රහස් දිගහැරෙන පෙදෙස”, “මැන්ඩලේ සිට පුෂ්ප” වැනි ජනවාර්ගික ජනතාවට අතර වූ භාණ්ඩ වන ඔබි (දඉදැ) මත ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රකාශනය සහ “ආදරණීය කතාවක්” නමින් වූ මියන්මාර නර්තනය ද මෙම ප්‍රසංගය තව තවත් විචිත්‍රවත් කෙරුණු සංස්කෘතික අංග විය. දෙරටට ම ආවේණික වූ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් අලංකරණය වූ මේ සෑම නිර්මාණයකින් ම ප්‍රේක්ෂකයින් අමන්දාන්දයට ම පත් කෙරිණි.
එමෙන්ම, මෙම උළෙල සුවිශේෂත්වයට පත් කරන ලද තවත් විශේෂ අංගයක් වූයේ මියන්මාරයේ පැගෝඩා ප්‍රතිසංස්කරණය කිරීම පාදක කොටගත් කෙටි චිත්‍රපටයයි. “දසදහස් පැගෝඩා නගරය” ලෙසින් හැඳින්වෙන බගාන්හි භූමිකම්පාවෙන් විපතට පත් තත්ඛින්නියු ෆායා චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත වූ චීන විශේෂඥ කණ්ඩායමක සංවේදී කථා වස්තුවක් මෙම චිත්‍රපටයෙන් දිග හැරේ. වසර ගණනාවක් පුරා පැවැති සංස්කෘතික උරුමයන් සුරැකීමේ මෙහෙවර ද චීනය සහ මියන්මාරය අතර මිත්‍රත්වය ද මෙම චිත්‍රපටයෙන් මනාව ගෙනහැර පායි.
පසුගිය සැප්තැම්බර් 25 වැනි දිනෙන් ඇරැඹි ඔක්තෝබර් 1 වැනි දින දක්වා “සුපිපෙන පුෂ්ප සමඟ පුරසඳ” නම් වූ මැද-සරත් උත්සව සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් මියන්මාරය පුරා විවිධ ස්ථානවල පැවැත්වීමට කටයුතු යෙදීම විශේෂත්වයකි. මෙම ක්‍රියාකාරකම් අතර “බහු උත්කර්ෂවත් යුන්නාන් ජීවිතය” ඡායාරූප ප්‍රදර්ශනය, “සුපිපෙන පුෂ්ප සමඟ පුරසඳ” ජාත්‍යන්තර මැද- සරත් උළෙල (යංගොන් සහ මැන්ඩලේහි පවත්වනු ලැබේ),”සුපිපෙන පුෂ්ප සමඟ පුරසඳ ජාත්‍යන්තර මැද-සරත් සංස්කෘතික කලා සැමරුම (මැඩේ අයිලන්ඩ්හි පැවැත්විණි) යනාදිය ඇතුළත් ය. මෙම මැද-සරත් උත්සව සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් පැවැත්වීමේ මුඛ්‍ය අරමුණු වන්නේ, මියන්මාරයේ සහ විදේශගත චීන ජනතාවට උණුසුම් මැද සරත් සෘතුවේ උත්සව සුබපැතුම් පිරිනැමීම, චීනය සහ මියන්මාරය අතර සම්ප්‍රදායික “බාඕ බෝ” මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම, දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල් සම්බන්ධතාව තවදුරටත් පුළුල් කිරීම සහ යුන්නාන් සහ මියන්මාරය අතර සංස්කෘතික හුවමාරුව සහ සන්නිවේදන වැඩි දියුණු කිරීම වේ.