පාකිස්තාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ කරච්චිහිදී පැවති 5 වැනි එක්දින තරගයෙන් ලකුණු 165ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියත් 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 293ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තාන යොවුන් පිලට ඕවර 32.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 128ක් පමණි.
අරෆත් මින්හාස් ලකුණු 57ක් රැස් කරමින් පාකිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි.
පන්දු යැවීමේදී විහාස් තෙව්මික සහ මල්ෂ තරුපති කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, විශ්ව ළහිරු කඩුලු 2ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සිනෙත් ජයවර්ධන වේගවත් ලකුණු 82ක් රැස් කළේ පන්දු 69කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ අතර, රුසඳ ගමගේ පන්දු 64කින් ලකුණු 66ක් සහ පුලිඳු පෙරේරා ලකුණු 47ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී මොහොමඩ් ඉබ්තිසාම්, උබයිඩ් ෂා සහ අරෆත් මින්හාස් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා යොවුන් පිල – 293/9 (ඕවර 50) සිනෙත් ජයවර්ධන 82, රුසඳ ගමගේ 66, පුලිඳු පෙරේරා 47, සාරුජන් සන්මුගනාදන් 29 (මොහොමඩ් ඉබ්තිසාම් 51/2, උබයිඩ් ෂා 55/2, අරෆත් මින්හාස් 57/2)
පාකිස්තාන යොවුන් පිල – 128 (ඕවර 32.3) අරෆත් මින්හාස් 57 (විහාස් තෙව්මික 21/3, මල්ෂ තරුපති 12/3, විශ්ව ළහිරු 29/2)