විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය සහ කලාවන් සඳහා වන 2023 ජාත්‍යන්තර තරුණ සමුළුව (2023 International Youth Forum for Excellent Traditional Culture and Arts) පසුගිය 24 වැනිදා චීනයේ ගුයිචෞ පළාතේ බීජියේ නගරයේදී පැවැත්වුණි.
සමුළුවේ තේමාව වූයේ “සංස්කෘතික උරුම සහ තරුණ වර්ධනය” යන්නයි. 2023 චීන-ආසියාන් අධ්‍යාපන සහයෝගිතා සතිය වෙනුවෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ගුයිචෞ ඉංජිනේරු විද්‍යා විශ්වවිද්‍යාලයයි.
සමුළුවට චීනය සහ ආසියානු රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, උසස් අධ්‍යාපන ආයතන නියෝජිතයින්, අධ්‍යාපන නියෝජිත ආයතන ප්‍රධානීන්, විද්වතුන් මෙන් ම පශ්චාද් උපාධි අපේක්ෂකයින් රැසක් සහභාගි විය. මෙහිදී ගුයිචෞ ඉංජිනේරු විද්‍යා විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය Zhang Sijie, චෙන්දු විශ්වවිද්‍යාලයේ සභාපති Wang Qingyuan, ග්වංචෞ විශ්වවිද්‍යාලයේ උපසභාපති මහාචාර්ය Deng Chengming යන මහත්වරුන් ද දේශන පවත්වනු ලැබීය.
සමුළුවේ ප්‍රධාන දේශන පවත්වනු ලැබුවේ සීචුවාන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විදේශ මහාචාර්ය Martin Travis Dove, තායිලන්තයේ රාජමංගල තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උප සභාපති ආචාර්ය Anan Pongtornkulpanich, ග්වංචෞ ජාත්‍යන්තර සහෝදර නගර විශ්වවිද්‍යාල සන්ධානයේ විධායක අධ්‍යක්ෂ Charles Stephen Farr, යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක, මලයාසියාවේ තුන්කු අබ්දුල් රහමන් කළමණාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණ කර්මාන්ත පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය Ooi Swee Yaw යන විද්වතුන් විසිනි.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා සමුළුව අමතමින් පැවසුවේ ශ්‍රී ලංකාව සංස්කෘතික උරුම රැසකට හිමිකම් කියන බැවින් ආඩම්බර ජාතියක් ලෙස ලෝකය හමුවේ පෙනි සිටිය හැකි බවයි. පරම්පරානුගතව ආරක්ෂා කරගත් සංස්කෘතික උරුම අනාගත පරම්පරාවට දායාද කිරීම සමස්ත ලෝක ප්‍රජාවගේ වගකීමක් බව ඔහු පැවසීය. කිසියම් ජාතියක සජීවි බව ආරක්ෂා කිරීමට සංස්කෘතිය හා සම්ප්‍රදායන් වැදගත් වන බව පැවසූ ඔහු සංස්කෘතික උරුම සහ කලාවන් ආරක්ෂා කිරීම සඳහා තරුණ දායකත්වය අත්‍යවශ්‍ය බව ද පැවසීය.
සමුළු කාලය තුළ සාම්ප්‍රදායික සංස්කෘතිය සහ කලාවන් පිළිබඳ ප්‍රදර්ශන නැරඹීමට ආරාධිතයින්ට අවස්ථාව හිමි වූ අතර සමාරම්භක උත්සවයේදී, විශ්වවිද්‍යාල අතර අධ්‍යාපන සහයෝගිතා හා හුවමාරු සදහා වන අවබෝධතා ගිවිසුම් 10 කට ද අත්සන් තබනු ලැබීය.