Home » පාසල් සිසුන්ට පාවහන් ගැනීමට වවුචර්පත්

පාසල් සිසුන්ට පාවහන් ගැනීමට වවුචර්පත්

by chanaka
October 4, 2023 4:00 pm 0 comment

ඉදිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී වැඩි කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා මේ නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනික ව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩ්‍යුලර් ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය වන බව අවධාරණය කළ අතර ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන් ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරී පුහුණු ගුරුවරුන් බඳවාගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පක්ෂය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද කී ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයන් සඳහා උපාධිධාරීන් 5450ක් බඳවා ගැනීමට මේ දිනවල නිවේදන නිකුත් කර ඇතැයි කී අමාත්‍යවරයා ඉන් ජාතික පාසල් සඳහා 1700ක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම බඳවාගනු ලබන බවත් විශ්‍රාමයෑම, රට හැර යාම වැනි හේතු නිසා පළාත් මට්ටමින් මතු වී ඇති ගුරු පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවත් ඉක්බිති රටේ ගුරු ඌනතාව බෙහෙවින් වලක්වාගත හැකි වනු ඇති බවත් පැවසී ය. එසේ ම නව පරිපාලනමය ව්‍යුහය මත පර්ෂද පාසල් සංකල්පය මත පාසල් පර්ෂද තුළ ගුරු තුලනයන් සිදු කරගැනීම මගින් යම් ගුරු හිඟයක් වෙතොත් එය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාසල් විනය යථාවත් කර පවත්වාගෙන යාම ගැන ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා ලබන වසර වන විට උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක පමණ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ද සිදු කර අවසන් කරන බවත් කියා සිටියේ ය.

එසේ ම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT