ළමයින්ට ශාරීරික දඬුවම් දීම තහනම්
පළාත් නවයට ළමා පියස 9ක්
ඩිජිටල් ක්‍රම මඟින් අපචාරවලට ගොදුරු වීමෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රම ඇතුළත් කර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ යුතු බව මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ. එම කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවීය.
“දිරි පියස” භාරකාර අරමුදලේ සහ ඇග්‍රොමාර්ට් අවුට්රිච් පදනමේ හිටපු සභාපතිනී නීතිඥ ඒ.කේ. වීරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කැනඩාවේ ගෝලීය විශ්වවිද්‍යාල සේවයේ අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල්, පොලිටික්ස් එස්එල්කේ ආයතනයේ උපායමාර්ගික විශේෂඥ මලිතී හේරත්, කාන්තා විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ අධ්‍යාපන විශේෂඥ නිර්මාලි වික්‍රමසිංහ, වෛද්‍ය දිල්ශානී බෝගොල්ලාගම, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ළමා ආරක්ෂණ සංවර්ධන සහ විශේෂ අවශ්‍යතා වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවමල්ගේ, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාසකෝරාළ, “සේව් ද චිල්ඩ්‍රන්” හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ විද්‍යාල කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අස්විනි ඩී. ප්‍රනාන්දු සහ යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂණ විශේෂඥ, නීතිඥ හා වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කළේය.
ළමයින් ලිංගික අපාරාධවලට ගොදුරු වීම, අසභ්‍ය වෙබ් අඩවිවලට ළමයින් යොදා ගැනීම, සයිබර් හිරිහැර සහ කප්පම් ගැනීම්, මුදල් සඳහා ක්‍රීඩා කිරීමට ළමයින් ඇබ්බැහි වීම සඳහා සමාජ මාධ්‍ය මඟින් අහිතකර බලපෑමක් සිදු වෙතැයි ලොව පුරා හඳුනාගෙන ඇති බව මෙම කමිටුව පෙන්වා දෙයි.
ළමයින් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරමින් නීති සම්පාදනය කළ යුතු බවත් කමිටුව අවධාරණය කරයි.
පසුගිය දශක තුන ඇතුළත සිදු වූ සමාජ, ආර්ථික හා තාක්ෂණික විපර්යාස සැලකිල්ලට ගනිමින් ළමා ආරක්ෂාව පිළිබඳ මෙම කමිටුව විසින් අධ්‍යයනයට ලක් කර තිබේ.
අත්හැර දැමූ, නොසලකා හරින ලද, අනාථ වූ හෝ ශාරීරික හෝ ලිංගික අපයෝජනයන්ට ලක් වූ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේදය වැඩිදියුණු කිරීම පිණිස ආයතනමය, පරිපාලනමය සහ නීතිමය රාමුව තුළ අධ්‍යයනයන් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබිණි. කමිටුව ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු කමිටුව නිර්දේශ 21ක් ඉදිරිපත් කර ඇත.
දරුවන් සම්බන්ධයෙන් වන අධිකරණ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට නියමිත බවත් මෙම කමිටුව සඳහන් කරයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ජනාධිපතිවරයා යටතට ගැනීමට නියමිත අතර මව විදේශගත වීම හේතුවෙන් අවදානමට ලක්වන දරුවන් හඳුනා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තු සංගණන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සමඟ බෙදා ගැනීමට නියමිත බවත් කමිටුව සඳහන් කරයි.
ආයතනවල සහ ළමා නිවාසවලින් පිටවන වයස 18 ඉක්මවන දරුවන් සමාජගත කිරීමේදී දරුවන්ට තොරතුරු තාක්ෂණ, භාෂා, මූල්‍ය කුසලතා ආදිය පිළිබඳ පුහුණුවක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර තිබේ. මෙවැනි ආයතනවල සිටින දරුවන්ගේ සියයට 70ක්ම ඒවාට ඇතුළත්ව සිටින්නේ දරිද්‍රතාව නිසා බැවින් එවැනි පවුල්වල ජීවනෝපාය සංවර්ධන කළ යුතු බවත් කමිටුව පෙන්වා දෙයි.
නූතන සමාජයේ දරුවන්ගේ මානසික සහ කායික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන සාධක වන මත්පැන්, දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීමට පියවර ගැනීම මෙන්ම පාසල්වලින් මීටර් 100ක් දුරින් මත්ද්‍රව්‍ය සහ තනි සිගරට් අලෙවිය තහනම් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා අදාළ ගැටලු පිළිබඳ දරුවන් දැනුවත් කිරීමද කළ යුතු බව නිර්දේශ කර තිබේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 602ක් තුළ ළමයින් සඳහා වෙනම ඒකක පිහිටුවීමටත් පළාත් නවය තුළ ළමා පියස ඒකක 9ක් පිහිටුවීමටත් මෙම කමිටුව නිර්දේශ කර තිබේ.
ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසක වීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදි ගැටලු මෙන්ම ළමා ආරක්ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳ මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබේ. එසේම නවීන සමාජයේ පවතින ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කර ගනිමින් ළමා ආරක්ෂාව සඳහා පවතින ආයතනික, පරිපාලන සහ නෛතික ආරක්‍ෂාවන්හි ප්‍රමාණාත්මකභාවය ද එහිදී ඇගැයීමට ලක් කර ඇත. තවද විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව ද මෙම වාර්තාව මඟින් නිරීක්ෂණයට ලක්කර ඇත. එමඟින් ළමයින් ප්‍රචණ්ඩක්‍රියාවන්ට යොමුවන ප්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයට ලක්කර ඇති අතර ළමා ආරක්ෂණ මුලපිරීම් වෙනුවෙන් ප්‍රජා සහභාගිත්වය සඳහා ගත යුතු නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ.
ළමයින් සඳහා සිදු කරන ආයතනිකගත ආරක්ෂණය අවම කිරීම සහ පවුල් පාදක ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුව අවධානය යොමු කර ඇත.
මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමයින් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ජීවන කුසලතා සංවර්ධනය සහ පුද්ගල ආරක්ෂණ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සාර්ථකව සමාජගත කිරීම සඳහා වන නිර්දේශ ද මෙහි ඇතුළත්ය.
ළමයින් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනා ගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.
ශිරෝමි අබයසිංහ