Sunday, May 18, 2025
Home » පාර්ලිමේන්තු

පාර්ලිමේන්තු

by gayan
October 7, 2023 7:00 am 0 comment

මෙරට වාහනවලින් සියයට 30ක් 2030 වන විට විදත්කරණයට ලක් විය යුතුයි

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

මෙරට වාහනවලින් සියයට 30ක ප්‍රමාණයක් 2030 වසර වන විට විද්‍යුත්කරණයට ලක් විය යුතු බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසුවේය.

පරිසර ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම තීරණය ලෝකයේ රටවල් සමඟ එක්ව ශ්‍රී ලංකාව ද ගත්තා. විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයට සම්බන්ධ වන පුද්ගලයන්ට ආණ්ඩුවේ සහාය දෙනවා.

කිලෝවොට් 500 දක්වා බල ශ්‍රේණිගත කිරීම මත විද්‍යුත් වාහන, විද්‍යුත් ත්‍රිරෝද රථ හා දෙමුහුන් විද්‍යුත් වාහන සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබෙනවා. අර්ධ වශයෙන් කොටස්වලට ගලවන ලද වාහන ආනයනය කරන විට නියමිත රක්ෂණ ගාස්තු හා ගැල් කුලී වටිනාකම සඳහා ශුන්‍ය තීරු බදු ගාස්තු අනුපාතයක් 2025 අගෝස්තු 31 වැනි දක්වා අනුගමනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබෙනවා. වෙස්ටර්න් ඔටෝ මොබයිල් එසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එම සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෙන් මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරලා නැහැ. කොටස්වලට ගලවන ලද වාහන කට්ටල සඳහා ශුන්‍ය තීරු බදු ගෙවීමේ සහනයක් වෙස්ටර්න් ඔටෝ මොබයිල් එසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ප්‍රදානය කරමින් ගැසට් නිවේදයක් නිකුත් කර නැහැ.

විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් හා ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මෝටර් රථ එකලස් කිරීමේ අරමුණෙන් වසර දෙකක කාලයක් එනම් 2025 අගෝස්තු 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළැඹීමට නියමිතයි. අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් සහිත සමාගම් සඳහා කිලෝවොට් 500ක් බල ශ්‍රේණිගත කිරීමක් සහිත විද්‍යුත් වාහන, විද්‍යුත් ත්‍රිරෝද රථ සහ සී.සී. 3000 එන්ජින් ධාරිතාවක් සහිත විද්‍යුත් දෙමුහුන් වාහන සඳහා ශූන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රජයේ ස්ථාවරය වෙනවා. විද්‍යුත් වාහන වෙත ලෝකයේ රටවල් වඩාත් නැඹුරු වෙමින් සිටිනවා. පාරිසරික දූෂණය අවම කිරීම ද මෙමඟින් අපේක්ෂා කරනවා. පාරිසරික ආරක්ෂාව සඳහා වැඩියෙන් විද්‍යුත් වාහන වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පවතින පැරිස් ගිවිසුමට ලංකාව අත්සන් තබා තිබෙනවා. වසර 2030 වන විට තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. 2030 වන විට තිරසර ගමනාගමනය සියයට 30ක පමණ විද්‍යුත්කරණය සඳහා අත්සන් කළ රටවල් අතර ලංකාවත් සිටිනවා. ගැසලින් ඩීසල් එන්ජින් අභ්‍යන්තර දහන වාහන සඳහා ඩොලර් 12000ක් සහ ඩොලර් 15,000ක් අතර පිරිවැයක් දැරීමට සිදු වෙනවා. විදුලි වාහන එක්සත් ජනපද ඩොලර් 20,000 සිට 25,000 දක්වා පරාසයක පවතිනවා. විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එක්වීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට අවස්ථාවක් තිබෙනවා. පාරිසරික අවශ්‍යතාව, ආයෝජන වැඩි කිරීම, විදේශීය සහාය, විද්‍යුත් වාහන භාවිතය වැඩි කිරීම යනාදිය මෙමඟින් අපි අපේක්ෂා කරනවා.


මාධ්‍ය නිදහස විනාශ කරන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉවත්කර ගන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම විනාශ කරන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 6 දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මිලියන 230ක් ජනගහනයක් සිටින පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ට පවා මෙවැනි පනත් ගෙන ඒමට නොහැකි වූණා. එයට හේතුව අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පදනම් කර ගත් ආයතන ඉවත්වීමට ගත් තීරණයක්. යම් හෙයකින් අප රටේ ඇති එවැනි ආයතන රට අතහැර ගියහොත් සෘජු විදේශ ආයෝජනවලට වෙන දේ ගැන සිතා බලන්න.

එමෙන්ම මෙම පනත හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා මානව අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් මෙවැනි ඒකාධිපති ආඥාදායක පනත්වලට නොයා නිදහසේ තොරතුරුවලට ප්‍රවේශ විය හැකි ශක්තිමත් පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.


මහනුවර ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ වැඩ ඉතා ඉක්මනින් පටන් ගන්නවා

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

මහනුවර ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතිය සඳහා වූ සැලසුම්කරණය හා ඉදි කිරීම් මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් අතර ඉතා ඉක්මණින් එහි වැඩ කටයුතු ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මෙම ව්‍යාපෘතියට ඩොලර් මිලියන 13ක අඩුවක් පැවැති අතර, එම මුදල මේ වන විට සපයා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මීට පෙර ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කර තිබූ සැලසුම්කරණය නොගැළපෙන දෙයක් වූ නිසා එය ඉවත් කර අලුතින් සැලසුම්කරණයක් කැඳ වූවා.

මෙම ව්‍යාපෘතියේ නව සැලසුම්කරණය අනුව මල්ටි මොඩ්ල් හබ් එකක් ඉදි වන බවත් නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙන් වන්දි ලබා දිය යුතු වෙළෙඳුන්ට මේ වන විට විශාල වන්දියක් ලබාදී තිබෙනවා. මෙම ව්‍යාපෘතියට අදාළව වෙළෙඳුන්ට වන්දි ලබාදීමේ දී කඩ වෙළෙඳුන්ට පමණක් නොව අතේ බඩු රැගෙන තැන තැන යමින් වෙළෙඳාම් කළ වෙළෙඳුන්ට පවා වන්දි ලබාදීම සිදු කළා.


කොත්තු රොටී හදනවා වගේ එක රැයකින් ආර්ථිකය හදා බුද්ධිගලනය නතර කිරීමට බැහැ

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කොත්තු රොටී හදනවා වගේ එක රැයකින් ආර්ථිකය හදා බුද්ධිගලනය නතර කිරීමට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කෙළේය.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කෙළේ බුද්ධිගලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැති විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

ආර්ථිකය හදා බුද්ධිගලනය නැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් සිටිනවා. පවතින තත්ත්වය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කළ යුතුයි.

වර්තමානයේදී බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක්. අමෙරිකාව, එංගලන්තය, ඉන්දියාවේ පවා බුද්ධිගලනය සිදු වෙමින් පවතිනවා.

බුද්ධිගලනය ලංකාවේ පමණක් සිදුවන දෙයක්. ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරනවා. පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ නොකියන ලෙස ඉල්ලා සිටිනවා.

මේ යෝජනාව දේශපාලනික වශයෙන් වාසි ගන්න තමයි ගෙනල්ලා තිබෙන්නේ. මේ ආර්ථික අර්බුදය ඇති වුණේ මේ ආණ්ඩුව නිසාද? ේකට සෑම රජයක්ම වගකියන්න ඕනෑ. දැන් මේ බුද්ධිගලනය අපේ රටේ විතරක් නොවෙයි වෙනත් රටවල්වලත් සිදු වෙනවා. අපි‍්‍රකාවේ බලන්න. එහෙත් සිදුවෙනවා. ඉන්දියාවෙත් අද විශාල වශයෙන් බුද්ධිගලනය සිදු වෙනවා. අමෙරිකාවෙත්, එංගලන්තයේත් බුද්ධිගලනය සිදු වෙනවා. නමුත් විපක්සය කියන්නේ ලංකාවේ විතරයි මෙහෙම වෙන්නේ කියලා. මේක පටු දේශපාලනික අරමුණකින් ගෙනාපු යෝජනාවක්. මේ බදු වැඩිවුණු නිසාලූ ගියේ. බලන්න බටහිර රටවල බදු අය කිරීම වැඩියි. ඒ නිසා මේ තර්කයත් පුහු තර්කයක්. දේශපාලනික අස්ථාවරභාවය නිසා යනවාලු. ඒක නම් ඇත්ත අරගලය කාලේ රටේ ගිනි තියලා. මන්දිරවලට පැනලා. ආයතන අල්ලගෙන කරපු විකාරයට කවුද වගකියන්න ඕනෑ. අද බුද්ධිගලනය රටවල සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙනවා. අපිට වෘත්තිකයන් ඉල්ලන සියලු දේවල් දෙන්න පුළුවන්නම් බොහොම හොඳයි.


ආර්ථික අර්බුදයත් සමඟ රටේ බුද්ධිගලනය ඉහළ ගිහින් තිබෙනවා

ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

රට තුළ සාමාන්‍යයෙන් බුද්ධිගලයනයක් සිදු වන අතර ආර්ථික අර්බුදයත් සමඟ පසුගිය කාලයේ මෙරට සිදු වූ බුද්ධිගලනය ඉහළ ගිය බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

බුද්ධිගලනය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

මෙරට අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමෙන් බුද්ධිගලනය යම් මට්ටමකින් හෝ අවම කර ගත හැකියි.

බුද්ධිගලනය රටවල් තුළ සාමාන්‍යයෙන් සිදු වෙනවා. වසර 2014 නැනෝ තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ කරන තෙක් විද්‍යාඥයන්ට පර්යේෂණ කරන්න තැනක් තිබුණේ නැහැ. මම තමයි තාක්ෂණ ඇමැතිවරයා විදියට ඒවා පටන් ගත්තේ. ජෛව තාක්ෂණ විද්‍යාගාරයත් මම ආරම්භ කළා. සාම්ප්‍රදායිකව අපේ රටේ පර්යේෂණ සංස්කෘතියක් තිබුණේ නැහැ. රටක දියුණුව රඳා පවතින්නේ පර්යේෂණ සිදු කර නවෝත්පාදනය මත. ජපානයේ ඒ තත්ත්වය තිබෙනවා. ජී.ඩී.බී. එකෙන් පර්යේෂණ සඳහා අපේ මුදල් වෙන් කරන්නේ නැහැ. ඒ නිසා අපේ බුද්ධිමත් අය රටවලට යනවා. අමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් අතරින් 200ක් පමණ අය අපේ රටේ අය. පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ මෙරට බුද්ධිගලනය ඉහළ ගොස් තිබෙනවා.

දැනුම ග්‍රහණය කරගෙන ඉදිරියට යාමට නම් නව දැනුමෙන් යුක්ත අයත් සමඟ ඉදිරියට යා යුතුයි. උසස් අධ්‍යාපන අවස්ථාව පුළුල් කරන ලෙසට ඉල්ලීමක් තිබෙනවා. එක් විශ්වවිද්‍යාල සිසුවකුට රුපියල් ලක්ෂ 8ක් පමණ වැය කරනවා. පාසල් 10,195න් පාසල් 336යි අධ්‍යාපන අමාත්‍යාංශය සතුව තිබෙන්නේ. ඉතිරි ඒවා පළාත් සභා තුළින් ක්‍රියාත්මක වෙනවා. බුද්ධිගලනයට තිබෙන තාවකාලික විසඳුමක් වනුයේ තිබෙන බදු ප්‍රමාණය අඩු කිරීම. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් බදු ගෙවන්න සූදානම්. බුද්ධිගලනය අපේ රටට අභියෝගයක්. නිදහස් අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් මෙරට ජනතාවගෙන් උපයා ගන්නා බදු මුදල්.

2018 සිට විදුහල්පතිවරුන් පත් කර නැහැ. තවත් මාසයක් තුළ විදුහල්පතිවරුන් 5000ක් බඳවා ගැනීමට හැකියි. අධ්‍යාපනය කඩන් වැටුණොත් රට තුළ කිසිවක් ඉතිරි වන්නේ නැහැ. අයවැය ලේඛනයත් සමඟ අධ්‍යාපනය ඉහළ නැංවීමට යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒවා කෙසේ ක්‍රියාත්මක වේවිද කියලා අපි බලමු.

වර්ෂාවත් සමඟ මේ දිනවල ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. ගංවතුර නිසා තර්ජනයට ලක් වූ පාසල් සම්බන්ධයෙන් අපි අවධානයෙන් සිටිනවා. ආර්ථික පසුබෑමත් සමඟ බුද්ධිගලනය මේ වසර දෙක තුළ වැඩි වශයෙන් සිදුව තිබෙනවා. එය අවම කර ගැනීමට රටක් විදියට අපි පියවර ගත යුතුයි.


වෛද්‍යවරුන්ට විදෙස්ගත නොවන්න කියා සිටියත් ඔවුන් රඳවා ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ

මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න

විදෙස්ගත නොවන ලෙස වෛද්‍යවරුන්ට කියා සිටියත් ඔවුන් රඳවා ගැනීම සඳහා ආණ්ඩුව සතුව වැඩපිළිවෙළක් නොමැති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ බුද්ධිගලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැති විවාදයට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය මෙසේ ද පැවසුවාය.

වෛද්‍යවරුන්ට ප්‍රශ්න රාශියක් තිබෙනවා. විදෙස්ගත වන වෛද්‍යවරුන් ආපහු එන්නේ නැහැ. වෛද්‍යවරුන් රාශියක් පිටරට අධ්‍යාපනයට ගිහින් ආපසු එන්නේ නෑ. මම දැක්කා මේ අයට යන්න එපා කියලා ජනාධිපතිතුමාත් කියලා තිබුණා. එහෙම කියනවාට වඩා යන එක නවත්වගන්න වැඩ පිළිවෙළක් නෑ. ඒ අය යනවා. මම කියනවා මේ යන්නේ අපේ රටේ තිබෙන විවිධ ප්‍රශ්න වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවයි. අද ගුරුවරුන් හිඟයි.

විද්‍යාපීඨ පද්ධතිය අද කඩා වැටිලා. අවුරුදු 04කින් විද්‍යාපීඨවලට බඳවා ගෙන නෑ. තව අවුරුදු හතරක් යනකම් ඒ කියන්නේ ගුරුවරු එන්නේ නෑ. මේක ලොකු ගැටලුවක්. අධ්‍යාපන පරිපාලනය, විදුහල්පති සේවය, අනධ්‍යන සේවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා සතුටින් නොවෙයි අද ඉන්නේ. අධ්‍යාපනයේ සිටින අද සතුටින් සිටියොත් තමයි ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න ඕනෑ.


අරගලය භාවිත කරමින් ඇතැම් පිරිස් විදේශ රටවල සරණාගත වීසා ලබා ගෙන තිබෙනවා

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

පසුගියදා මෙරට සිදු වූ අරගලය භාවිතා කරමින් ඇතැම් පිරිස් විදේශ රටවල සරණාගත වීසා ලබා ගෙන ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

බුද්ධිගලනය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අරගලය අවස්ථාවේදී මාගේ නිවෙස ගිනි තැබීමට පැමිණි තරුණයෙක් අද වන විට සරණාගතයකු ලෙස කැනඩාවට ගොස් තිබෙනවා. මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් පුද්ගලයන් රටට සේවයක් කිරීමට හිතට ගත යුතුයි.

මෙරට බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනය තුළින්. බදු මුදලින් තමයි ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. තමන් කැමති රටකට ගිහිං බුද්ධිමතුන්ට, උගතුන්ට රැකියාව කළ හැකියි. බුද්ධිමතුන් රට හැර යනවා කියලා බුද්ධිගලනයට අලුත් වචනයක් දාලා තිබෙනවා. මම හත වසරේ ඉන්නකොට තමයි බුද්ධිගලනය සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ. මේ මාතෘකාව අද විතරක් කතා කරන දෙයක් නොවේ. 1983දී කළු ජූලිය නිසා තමයි වැඩිම බුද්ධිගලනයක් මෙරට සිදු වුණේ. වෛද්‍යවරුන් ඇතුළු උගත් අය මේ අවස්ථාවේදී රට හැර ගිහිං වෙනත් රටවල පදිංචි වුණා. එසේ ගිය කොටස් කණ්ඩායම් හදා ගත්තා. දෙමළ ඩයස්පෝරාව එවැනි එකක්. එම ඩයස්පෝරාවත් කණ්ඩායම් දෙකක් බවට පත් වුණා. එකක් දෙමළ ඩයස්පෝරාව. ඇතැම් කොටසක් මෙරට අයට උදව් කළා.

පසුගිය කාලයේ මෙරට අරගලයක් ඇති වුණා. ඒ අරගලය තුළින් සරණාගතයන් ලෙස විවිධ රටවල පදිංචියට ගියා. මගේ නිවස ගිනි තියන්න පැමිණි මම හොඳින් දන්නා තරුණයෙක් අද සිටින්නේ කැනඩාවේ. අරගලයේ භීෂණ තත්ත්වයන් භාවිතා කරමින් ඔහු උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට යන්න බැරි නිසා කැනඩාවේ සිටින්න. දේශපාලන රැකවරණය එරටින් ඔහු ඉල්ලනවා. මෙහේ කරන රැකියාවට වඩා හොඳ රැකියාවක් කරන්න පුද්ගලයන් විදේශගත වෙනවා.


මයිලතමඩු හි ගොවි ජනතාවගේ ගැටලුවලට සාධාරණයක් ඉටු කරන්න

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයෙන් සභාවේ නොසන්සුන්තාවක්

මඩකලපුව මයිලතමඩු හි ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ (06) සභාවේදී සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් සභාවේ නොසන්සුන්තාවක් ඇති විය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම්, තලෛයි අර්සලිංගම්, සහ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී විනෝද රාදලිංගම් සහ යාපනය දිස්ත්‍රීක් මන්ත්‍රී එස් ශ්‍රී ධරන් යන මන්ත්‍රීවරු මෙම විරෝධයට එක්වූහ.

විරෝධතාවයෙහි නිරත වූ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඇතිවූ උණුසුම් වාද විවාද හේතුවෙන් මේ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.

මේ අවස්ථාවේදී මුලසුන දැරූ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සභාවේ දවසේ වැඩකටයුතු සඳහා ඉඩ ලබා දෙන ලෙසයි.


සේවක අර්ථසාධක අරමුදල ගැන කතා කරන්න ගිහින් සභාවේ උණුසුම් තත්ත්වයක්

සභාවේ කටයුතු අත්හිටුවීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති මන්ත්‍රී අංගජන් රාමනාදන් පියවර ගනී

සේවක අර්ථසාධක අරමුදල සඳහා 2022 වසර වෙනුවෙන් ගෙවා ඇති ප්‍රතිශත සම්බන්ධයෙන් සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි දහයක් සඳහා සභාව අත්හිටුවීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා ඊයේ (06) පියවර ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අදාළ ප‍්‍රශ්නය යොමුකර තිබූ අතර ඊට පිළිතුරු නොදීම නිසා අකිල එල්ලාවල මහතා දැඩි ආවේගයෙන් යුතුව කරුණු ප්‍රකාශ කිරීම මත මෙම උණුසුම් තත්ත්වය තවත් දැඩි විය. මෙහිදී මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ නිවැරදි පිළිතුරක් වගකීමෙන් ලබාදීමට අවශ්‍ය නිසා තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට සති දෙකක කාලයක් අවශ්‍ය නොවන බවයි. එම ප්‍රශ්නයට පිළිතුර මහ බැංකු අධිපතිවරයාට කට පාඩමින් තිබිය යුතු එකක් බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

පොලී අනුපාතය මේ පාර්ලිමේන්තුවට දෙන්න බැරිද. මේක හංගනවානේ. මේ දත්ත නන්දලාල් වීරසේකර මහතාට කෝල් කරල දැන් අහගන්න පුළුවන්. එතුමා තමයි මේ සැලැස්ම ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවල ස්ථාවර නියෝග වගේම යුක්ති යුක්තිසහගත භාවයක් තියෙන්න ඕනෑ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT