Saturday, May 10, 2025
Home » 74 වැනි යුද හමුදා දිනයට සමගාමීව දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරේ

74 වැනි යුද හමුදා දිනයට සමගාමීව දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරේ

by chanaka
October 8, 2023 10:31 am 0 comment

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වැනි සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පසුගිය සිකුරාදා (06) සන්ධ්‍යාවේ පැවැත්විණි.

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සහභාගී විය.

රටවෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ ආදරණීය මතකයන් සිහිපත් කිරීම උදෙසා යුද්ධ හමුදාව විසින් මෙම විශිෂ්ඨ උපහාරය පුදකරනු ලබයි. මීට වසර 14 කට ප්‍රථම අප වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්තවාදය තුරන් කරමින් රට එක්සේසත් කිරීමට දැක්වූ නිර්භීත දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙනුවෙන් සෑම වරසකම යුද්ධ හමුදා සංවත්සර දිනයට සමාගාමීව උපහාර උත්සවයක් පවත්වනු ලබයි. රට තුළ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් තම වටිනා ජීවිත පරිත්‍යාග කළ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ වීරත්වයට යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන ගෞරවාචාරය සංකේතවත් කරමින් මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වේ.

මෙම අනුස්මරණ උත්සවය ආගමික ආශීර්වාද උත්සව වලින් අනතුරුව ඔක්තෝබර් 10 වැනිදා ප්‍රධාන සැමරුම් උත්සවයට දින කිහිපයකට පෙර පැවැත්වීමට සැලසුම් කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව දැක්වීම පිණිස පවත්වනු ලබන මෙම රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. එහිදි, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. 2009 මැයි මාසයට ප්‍රථම දශක තුනක පමණ කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් වීරෝදාර රණවිරුවන් සිදුකළ අපරිමිත කැපකිරීම සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමගින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී. රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මතකය නැවත ජීවමාන කරන මෙම අවස්ථාව ‍සංවේදී ජනක අවස්ථාවක් විය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පළමුව පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව සියලු යුද්ධ හමුදා සාමාජිකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බළලත් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් විසින් දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළහ.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මව්බිමේ එකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ, උපකරණ මාස්ටර් ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT