Home » ආර්ථික වැඩපිළිවෙළට දිගටම සහාය දෙනවා

ආර්ථික වැඩපිළිවෙළට දිගටම සහාය දෙනවා

ලෝක බැංකුව-IMF ශ්‍රී ලංකාවට සහතික වෙයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා තවදුරටත් සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සහතික වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමඟ එම ආයතනයන්හි ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව සඳහන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එහිදී ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පවත්වා තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන් පිළිබඳ කරුණු සාකච්ඡා වූ බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙහිදී ශෙහාන් සේමසිංහ මහතා, ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කර තිබේ. මේ අතර රාජ්‍ය ඇමැතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් මහතා අතර හමුවක් ද පවත්වා තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම මොරොක්කෝවේදී ආරම්භ වූ අතර මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අපගේ සියලු හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තු වන බවද ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මොරොක්කෝවේ මරකේච්හිදී ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT