Tuesday, May 13, 2025
Home » මාතර ගංවතුර ආපදාව පහව යයි

මාතර ගංවතුර ආපදාව පහව යයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

මාතර - ජයසිරි පේදුරුආරච්චි

අයහපත් කාලගුණයෙන් මාතරට ඇති වූ ආපදා තත්ත්වය පහව යමින් පැවතීම හේතුවෙන් මෙතෙක් අවතැන්වූ හා ගංවතුරට කොටු වූ පවුල් සංඛ්‍යාවේ අඩු වීමක් ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

ඒ අනුව ඊයේ (10) දහවල් වන විට ගංවතුරට හසුවූ පවුල් 3122ක පුද්ගලයන් 12167ක් දක්වා පහත බැස තිබූ අතර ගංවතුරට කොටු වූ පවුල් 9624ක පුද්ගලයන් 33,214ක් දක්වා ද අඩු වී ඇතැයි ද මාලිම්බඩ, තිහගොඩ හා කඹුරුපිටිය ප්‍රදේශවල පමණක් ගංවතුර තත්ත්වය තවදුරටත් යම් ප්‍රමාණයකින් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඊයේ (10) දහවල් පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදාවේ වත්මන් තත්ත්වය පිළිබඳ විස්තර කරමින් එලෙස පැවසූ දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පාසල්වල පිහිටුවා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන ඊයේ (10) සවස වන විට ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි පිහිටුවා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන 14ම ඊයේ සවස් වන විට ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

දිස්ත්‍රික්කයේ පාසල් පැවැත්වීම හා අවශ්‍යතා මත පසල් වසා තැබීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇත.

කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වය මත මෙවර ඇති වූ අධික වර්ෂා තත්ත්වයේදී මීට පෙර අවස්ථාවන්හිදී වැසි ජලය පිරී ජනතාව අපහසුතාවන්ට පත් නොවූ ප්‍රදේශවල පවා වැසි ජලය පිරීමෙන් මාර්ග හා නිවාස ජලයෙන් යටවීම් සිදුවීම විශේෂිතම අවස්ථාවකි. ඉන් සුවිශේෂ සිදුවීමක් ලෙස මාතර තලල්ල දකුණ මහා විද්‍යාලය ආරම්භ කර වසර 105 ඉතිහාසයේ පළමු වරට මුළු පාසල් භූමියම ජලයෙන් පිරී යෑම හැඳින්විය හැකිය. එම පාසල් භූමියේ ජලය ඊයේ (10) සවස් වන විටත් රැඳී පැවතිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT