Home » උතුරු පළාතට තවත් පුනර්ජනනීය විදුලි උත්පාදන බලාගාරයක්

උතුරු පළාතට තවත් පුනර්ජනනීය විදුලි උත්පාදන බලාගාරයක්

by mahesh
October 11, 2023 1:00 am 0 comment

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්. එස්. චාර්ල්ස් උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවෙන් දිනකට 6.5%ක විදුලි ධාරිතාවක් එක් කෙරෙන තවත් පුනර්ජනනීය විදුලි උත්පාදන බලාගාරයක් උතුරු පළාතේ ඉදි කෙරෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය පෙරේදා (09) ප්‍රකාශ කළාය.

ඇය මේ බව පැවසුවේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“මේ විදුලි බලාගාරය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක වියදමකින් අමෙරිකානු සමාගමක් විසින් ස්ථාපිත කිරීමට නියමිතයි. සූර්ය පැනල ක්‍රමය යටතේ මුලතිව්, පුනරීන් ප්‍රදේශයේ අක්කර 6000ක භූමි ප්‍රමාණයක මේ විදුලි උත්පාදන බලාගාරය ඉදි කෙරෙනවා. එයින් අක්කර 1000ක මෙගාවොට් 700ක සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කෙරෙනවා. එමෙන්ම සූර්ය බලශක්ති පද්ධතිය පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පුනරීන් වැව සම්පූර්ණයෙන් සංවර්ධනය කර ප්‍රදේශයේ අක්කර 1000ක භූමි ප්‍රමාණයක ගොවිතැන් කිරීම සඳහා ගොවීන්ට විදුලිය දීමට අදාළ සමාගම පියවර ගන්නවා. මේ සඳහා අදාළ සමාගම රුපියල් බිලියන 5ක් වැය කිරීමට නියමිතයි. පරිසර හිතකාමී පුනර්ජනනීය විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන නිසා කලාපයේ ගොවීන්ට මේ යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබෙනවා.”

මේ සාකච්ඡාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT