කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළවල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරු දීමනාව වැඩි කිරීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කටයුතු යොදා ඇත.
කම්කරු දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන ලෙස ද ඇමැතිවරයා මේ සේවක පිරිසට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළවල සේවය කරන එම කම්කරුවන්ට දැනට දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති අතර, මේ නිසා එම පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන් හිඟ වීමෙන් එහි කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පසුගිය 08 වැනිදා බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීමට ගිය කෘෂිකර්ම ඇමැතිවරයාට බලධාරීන් දැනුම් දෙන ලදි.
පර්යේෂණ ගොවිපොළ පවත්වාගෙන යෑමට උග්‍ර ලෙස කම්කරු හිඟය බලපා ඇති අතර, බතලගොඩ පර්යේෂණ ගොවිපොළේ ඇතැම් ස්ථානවල වී අස්වනු නෙළා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එම කම්කරු හිඟය නිසා බව ද ඔවුහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.
දැනට මේ පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන්ට දෙන්නේ ඉතාමත් අවම දෛනික වැටුපක් වන අතර, මේ දීමනාව අවම වශයෙන් තවත් සියයට 50කින්වත් ඉහළ දැමීමට හැකි නම් මේ කම්කරු ගැටලුව විසඳා ගත හැකි යැයි ද නිලධාරීන් ඇමැතිවරයා හමුවේ පැවැසීය.