Tuesday, May 13, 2025
Home » ඉන්දියන් සාගරය සහ ගුවන සාම කලාපයක් ලෙස ඉදිරියටත් පවත්වා ගැනීමට කැපවෙනවා

ඉන්දියන් සාගරය සහ ගුවන සාම කලාපයක් ලෙස ඉදිරියටත් පවත්වා ගැනීමට කැපවෙනවා

'කොළඹ ගුවන් කතිකාව - 2023ට' එක්වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල කියයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යෑමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කළේය.

සාර්ථක ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, දැනට පවතින කලාපීය රාමු මෙන්ම මුලපිරීම් සමඟ පෙළ ගැසී ඒ සඳහා සහාය දීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පෙරේදා (09) පැවති ‘කොළඹ ගුවන් කතිකාව- 2023’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරට සංවිධාන කරන ලද මේ කතිකාව මේ මස 09 – 10 දෙදිනයන්හිදී පැවැත්විණි.

එංගලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය ඇතුළුව දෙස් විදෙස් රටවල විද්වතුන් රැසක් ‘කොළඹ ගුවන් කතිකාව – 2023’ සඳහා සහභාගි වූ අතර මූලෝපායීක අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සහ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CDISS) අධ්‍යක්ෂ මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.

එහිදී වැඩිදුරටත් සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

2015 – 2016හිදී මෙහි පළමුවැන්න ආරම්භ වුණේ “සමුද්‍රීය ගුවන් ආරක්ෂාව හරහා ජාතිය ගොඩනැඟීම” යන තේමාවෙනි.

ඉන්දියානු සාගර කලාපය සමුද්‍රීය වෙළෙඳාමේ සිට ආරක්ෂාව, උපායමාර්ගික, ආර්ථික, පාරිසරික සහ සමාජයීය වශයෙන් ප්‍රධාන ගෝලීය සම්බන්ධතා දක්වා පරිවර්තනය වී ඇති මොහොතක මෙවර මෙහි මාතෘකාව වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ හවුල් අවශ්‍යතා පෝෂණය කිරීමයි.

අපේක්ෂිත පරිදි, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම එහි සීමා කරා ළඟා වී ඇත්තේ කලාපයේ පැවැත්ම සහ ආධිපත්‍යය සඳහා බලපෑම් කරන බාහිර ප්‍රධාන බලවතුන් සමඟයි. ඔවුන් වෙළෙඳ මාර්ගවල ප්‍රධාන මර්මස්ථාන අසල යුදමය පැවැත්මක් පවත්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා. මෙහිදී කලාපයට ලෝක බලවතුන්ගේ පැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්. ඉන්දු – පැසිෆික් කලාපය ලෙස අර්ථ දක්වා ඇති ප්‍රදේශයේ උපායමාර්ගික වැදගත්කම චීනයේ ගෝලීය නැඟීම සමඟ ද සම්බන්ධ වෙනවා.

එක්සත් ජනපදය හා චීනය අතර පවතින විශාල බල අරගලය හමුවේ, චීනය කලාපයේ සිදුකරන ක්‍රියා පරීක්ෂා කර බැලීමට ඉන්දියාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මේ තත්ත්වය හමුවේ සාපේක්ෂව සාමකාමීව පවතින ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික සහ දේශපාලනික වශයෙන් ලෝකයේ දැඩි අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඉන්දියාවේ ආරක්‍ෂක පරිසරය සඳහා ස්ථාවර ඉන්දියන් සාගරයක් යන කාරණය ඉතා වැදගත් වෙනවා.

ඵලදායී කලාපීය ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, භූගෝලීය වශයෙන් උපායමාර්ගික පරිසරය හරය බවට පත් වන නිසා, පොදුවේ පවතින අවශ්‍යතා සඳහා එය තර්ජනයක් හෝ අවදානමක් නොවන බවට දැඩි හැඟීමක් අපට තිබිය යුතුයි. යුරෝපීය සහ මැදපෙරදිග ජාතීන් ඉන්දියානු සාගරය කෙරෙහි දක්වන උනන්දුව වැඩිවීම ධනාත්මක වර්ධනයක් බව කිව යුතුයි.

සන්නිවේදන මාර්ග තහවුරු කිරීම, සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) මත පදනම් වූ බහුපාර්ශ්විකව එකඟ වූ නීති පිළිපැදීම සහ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික රාමු භාවිත කිරීම මඟින් කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අපට ක්‍රියා කළ හැකියි. කලාපීය ආරක්ෂක සැලැස්මක්, පොදු කලාපීය අනන්‍යතාවක් හෝ පිළිගත් කලාපීය නායකත්ව රාමුවක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියානු සාගර කලාපයේ ඵලදායී ක්‍රියාමාර්ගයක් කරා සහයෝගීතාවෙන් යුතුව ගමන් කිරීම දැවැන්ත අභියෝගයක් වී පවතිනවා.

සාර්ථක ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, අප දැනට පවතින කලාපීය රාමු සහ මුලපිරීම් සමඟ පෙළගැසීමටත් ඒ සඳහා සහාය දැක්වීමටත් උත්සාහ කළ යුතුයි. අග්නිදිග ආසියාවේ මෙන්ම පුළුල් ආසියා – පැසිෆික් සහ ඉන්දියානු සාගර කලාපවල ආර්ථික හා ආරක්ෂක සැලසුම හැඩගැස්වීම සඳහා ඉන්දු – පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම මඟින්, නායකත්වය ලබාදීමට උත්සාහ කරනවා.

ශඅප ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගය වන්නේ කලාපයේ සහ ඉන් පිටත පවතින බල සංයෝජනයන්ගේ අවශ්‍යතා සහ මැදිහත්වීම් හඳුනාගෙන ඒවා ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයි. එවැනි මූලාරම්භ ශක්තිමත් කිරීමට මෙවැනි සංසද මඟින් සංවාදයක් ඇති කරනවා. එබැවින් ගුවන් හමුදාව විසින් මෙය සංවිධාන කිරීම වඩාත් වැදගත්.

මේ තීරණාත්මක අවස්ථාවේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති බව සහතික කිරීම සඳහා ඉන්දියානු සාගරයේ සිය කාර්යභාරය අගය කරන ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. මේ භූමිකාවට සහාය වන සැමට අප ඉතා කෘතඥ වෙනවා. ඩ්‍රෝනීය ගුවන් යානයක් ලබා දීමෙන් ඉන්දියාව, මේ සඳහා අපට උපකාර කර තිබෙනවා. එක්සත් ජනපදයද අපගේ නාවික ශක්තිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට ඉදිරියට පැමිණ සිටිනවා. ඒ වගේම එවැනි අපේ මිත්‍ර රටවල් මෙහි පැමිණ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදී තිබෙනවා වගේම මෙවැනි සම්මන්ත්‍රණවලට අප සමඟ එක් වී ඉන්දියන් සාගරයේ සිදු කරන මේ කාර්යභාරයට සහයෝගය දී තිබෙනවා. මා පෙර සඳහන් කළ පරිදි මේ කලාපයේ ආරක්ෂාවට නිවැරදි සාකච්ඡාවක් සිදු වන බව සහතික කිරීම සඳහා වැදගත් වන මූලික පදනම්, මේවා බව සඳහන් කළ යුතුයි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT