තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමැතිවරු ඉදිරිපත් කළ පෙත්සම් මේ මස 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) දින නියම කෙළේය.
එම පෙත්සම් මාස දෙකක කාලයක් තුළදී විභාග කළ යුතු බවට නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස දින නියම කෙළේය.
එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
මෙම පෙත්සමට අදාළ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න සහ හිජාස් හිස්බුල්ලා යන නීතිඥවරු ඊට විරෝධය පළ කළහ.
මෙම පෙත්සම් පසුගිය අගෝස්තු මස 14 වැනිදා ගොනු කළ බව ඔවුහු පෙන්වා දුන්හ.
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහි පෙත්සම් ගොනු කළ දිනයේ සිට මාස දෙකක කාලයකදී එම පෙත්සම් විභාගය අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බව ඔවුහු සඳහන් කළහ.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගය කල් දැමීම කළ නොහැකි බැවින් පෙත්සම් විභාගයට ගන්නා ලෙස ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු සලකා බැලූ එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම් විභාගය මෙම 12 වැනිදා පැවැත්වීමට දින නියම කෙළේය.
පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඊයේ (10) දින තුළ ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කෙරිණ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නවදෙනෙකු පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.
නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මඟින් මෙම පෙත්සම් ගොනු කැර ඇත.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ තමන් පසුව ආණ්ඩුවට සහාය පළ කළ බවත් ඉන් අනතුරුව තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරමින් 2022 වසරේ මැයි මාසයේ සිටම එම පක්ෂයේ මහලේකම්වරයා වෙතින් ලිපි කිහිපයක් ලැබුණු බවත් පෙත්සම්කරුවෝ පවසති.
සමගි ජන බලවේගයේ විධායක කමිටුව එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව පත් කර නැති බවත් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සමකින් ද ඒ බව පෙන්වා දී ඇති බවත් පෙත්සම්වල සඳහන් වේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට තමන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට කිසිදු බලයක් නොමැති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එසේම එම තීරණය නීති විරෝධී බවට ඔවුහු කරුණු ඉදිරිපත් කර ඇත.
එම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය මඟින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි නොවන බවට නියෝගයක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.