Home » පොලිස් නිල සුනඛ කොට්ඨාසයට වසර 75ක් සපිරේ

පොලිස් නිල සුනඛ කොට්ඨාසයට වසර 75ක් සපිරේ

by mahesh
October 11, 2023 1:00 am 0 comment

අසේල කුරුළුංශ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය පිහිටුවා වසර 75ක් සපිරීම නිමිත්තෙන් දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල පවත්වනු ලබන නිල සුනඛ සංදර්ශන මාලාවේ පස්වැන්න ඊයේ (10) මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙරට මුලින්ම පොලිස් නිල සුනඛ සේවයක් ආරම්භ කර ඇත්තේ 1948 වසරේදීය. මෙරටට පැමිණ සිටි විදේශිකයන් දෙදෙනෙක්ගෙන් රුපියල් 175කට සහ රුපියල් 200කට මිලදී ගත් රෙක්ස් හා ශීබා යන සුනඛයින් දෙදෙනාගෙන් පොලිස් නිල සුනඛ අංශය වැල්ලවත්ත පොලිස් ස්ථානයේ පිහිටුවා ඇත. එහිදී එම පොලිස් නිල සුනඛයන් හැසිරවීම සිදු කරනු ලැබ ඇත්තේ ආම්ස්ට්‍රොන්, බර්ට්‍රස් සහ දේවනායගම් යන කොස්තාපල්වරු තිදෙනාය.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර මහතාගේ ආරාධනයෙන් මහනුවර අවට පාසල් කිහිපයක දරු දැරියන් සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි අතර, හෙට (12) අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී තවත් සංදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

පොලිස් නිල සුනඛ සේවය මෙරට පිහිටුවා වසර 75ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 04 වැනිදා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර, එහිදී නිල සුනඛ කොට්ඨාසයේ නිලධාරින්ගේ හා පොලිස් නිල සුනඛයන්ගේ සේවය අගය කොට සම්මාන සහ සහතික පිරි නැමීමට ද කටයුතු යොදා තිබේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ 75 වැනි සැමරුමට සමගාමීව වීදි සුනඛයන් එන්නත් කිරීම සහ ආහාර ලබාදීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT