විදුලි සර වද්දවා අලියකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ අයකුට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් තීන්දුව දුන් දිනම ගෙවන ලෙසත්, නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඊයේ (10) නියෝග කෙරිණි.
මෙසේ අදාළ වන අලියා විදුලි රැහැන් යොදවා මරා දැමීමට චෝදනා එල්ලවී දඩ මුදල ගෙවිමට සිදු වූයේ පුත්තලම සෙල්ලන්කන්දල් ග්‍රාම නිලධාරී වසමට අයත් පහළ මානවේරිය ප්‍රදේශයේ පදිංචි කාලගිරි දේවලාගෙ ප්‍රදීප් කුමාර නමැති අයෙකුටය.
2021 වසරේ මාර්තු 9 වැනි දින අදාළ චුදිතයා තම ඉඩමේ යොදවා තිබු නීති විරෝධී විදුලි රැහැනක පැටලී ඒ හරහා ගමන් කරමින් සිටි අලියකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබුණි.
අදාළ ස්ථානයේ මරණයට පත්ව සිටි අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වනජීවි පශු වෛද්‍යවරයා සිය වාර්තාව ලබා දෙමින් පවසා තිබුණේ අධික විද්‍යුත් ධාරාවක් හේතුවෙන් පෙණහලු සහ හෘදය අකර්මණ්‍ය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
අදාළ නඩුව වෙනුවෙන් වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා පෙනී සිටි අතර, එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම චුදිතයා සිය නිෙවසින් ලබා ගත් විදුලිය විදුලි රැහැනට ඝෘජුව සම්බන්ධ කරමින් ලබා දී තිබු බවයි.
අදාළ කරුණු සියල්ල සැලකිල්ලට ගත් පුත්තලම මහේස්ත්‍රාත්වරයා අදාළ චෝදනා සඳහා චුදිතයා වැරදිකරු බවට ප්‍රකාශයට පත් කරමින් තීන්දුව ලබා දීම සිදුවිණි.
එහිදී අදාළ චුදිතයාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කළ අතර, එය තීන්දුව ලබා දුන් 10 වැනි දිනම ගෙවීමට නියෝග කෙරුණි. ඒ සමඟම නඩුව අදාළ නඩු භාණ්ඩ ලෙස වනජීවියෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සියල්ල රාජසන්තක කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණි.