ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.
එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමීපව නිරීක්ෂණය කරන බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා ප්රමුඛ කාර්ය මණ්ඩලය කැපවීමෙන් මේ පිළිබඳ කටයුතු කරන බව ද හෙතෙම කියයි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වන විට ඊශ්‍රායලයේ රැඳී සිටින බවට අනාවරණය කරගෙන තිබෙන අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද පියවර ගන්නා බව ද සඳහන් කරන විදේශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව කලාපීය දූත මණ්ඩල සමඟ සමීපව කටයුතු කරන බව ද කියා සිටී.
ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා බව පෙන්වා දෙන විදේශ කටයුතු ඇමැතිවරයා මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන්ව සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව ද තවත් එක් ශ්‍රී ලාංකිකයකු තුවාල ලබා සිටින බව ද ඒ මහතා පවසයි.