හානියට පත් ග්‍රාම නිලධාරි කාර්යාලයක වහලය ලක්ෂ පහක අනුමැතිය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව සකසා දෙන තෙක් බලා සිටීමට නොහැකි යැයි පැවසූ ප්‍රදේශවාසින් පිරිසක් තම ශ්‍රම දායකත්වය යටතේ එය යථා තත්ත්වයට පත් කර දීමට පෙරේදා (09) පියවර ගත් පුවතක් පොල්පිතිගමින් අසන්නට ලැබේ. මෙම ආදර්ශවත් ක්‍රියාව සඳහා වහලය සකසා දීමට ඉදිරිපත් වුණේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 357, ගලගෙදරගම ග්‍රාම සේවා වසමේ පදිංචි වැඩිහිටි හා තරුණ පිරිස්ය. ඉකුත් ජුලි මස 04 වැනිදා දවල් වැස්ස සමඟ හමා ගිය සුළගින් අවට ගෙවත්තක තිබූ රූස්ස කොහොඹ ගසක් කඩා වැටීමෙන් එහි වහලයට දැඩි ලෙසට හානි සිදු වී තිබුණි. ඒ අවස්ථාවේදී සේවයේ නියුතු ග්‍රාම නිලධාරි සුනිල් දයානන්ද මහතා පිටුපස ජනේලයෙන් ඉවතට පැන දිවි බේරා ගෙන ඇත. වහලයට වූ හානිය නිසා එහි පවත්වාගෙන ගිය ග්‍රාම නිලධාරි කාර්යාලය හා සමෘද්ධි කාර්යාලය යාබද නිවසක පවත්වාගෙන යාමට සිදුවිය.
එහෙත් ඉන් නිලධාරීන් හා ජනතාව පත්වෙන අසීරුතාව තේරුම් ගත් ගමේ වැඩිහිටි හා තරුණ පිරිස් තම ශ්‍රම දායකත්වය ලබා දී අවැසි ලී දඬු හා ඇස්බැස්ටෝස් ගෙනැවිත් වහලය අලුතින්ම සකසා දීමට පියවර ගත්හ.