Home » කූට ලේඛන සකස් කර අත්සන් හොරට ගැසූ දිගන හිමිනමට ලක්ෂ20ක ශරීර ඇප

කූට ලේඛන සකස් කර අත්සන් හොරට ගැසූ දිගන හිමිනමට ලක්ෂ20ක ශරීර ඇප

අවසන් ඉරු දින පොලිසියේ පෙනී සිටින්න අවවාද

by mahesh
October 11, 2023 1:00 am 0 comment

කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක

කූට ලේඛන මඟින් හැඳුනුම්පතක් සකස් කළ හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ අත්සන හොරට යෙදු හා එම කාර්යාලයේ බොද්ධ කටයුතු සමායෝජකගේ අත්සන හොරට යොදා කූට ලේඛන සකස් කළ දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි දිගන කන්දෙ විහාරයේ හිමිනමකට දැඩි කොන්දේසි මත රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ විස්සක පුද්ගලයන් හතර දෙනකුගේ ශරීර ඇප හතරක් මත ඇප ලබා දෙමින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස තරයේ අවවාද කරමින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනී ජයවර්ධන මහත්මිය පෙරේදා (09) එම හිමිනමට ඇප නියම කළාය. සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු නවයත් දොළහත් අතර කාලයේදී තෙල්දෙණිය පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කරමින් හා ඇප නියම කරමින් යළි ලබන වසරේ පස්වෙනි මස දහතුන්වන දින තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටීමටත් නියම කළාය.

තෙල්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිලි දෙකක් සම්බන්ධව මෙම හිමිනම පසුගිය මස විසි පස්වන දින අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය විසි හය වැනි දින සිට දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි සම්බන්ධව අංක බී 385/1 /2022 හා1945/2022 යන බී වර්තා දෙක මඟින් මෙම හිමිනමට චෝදනා ගොනු කර මෙම හිමිනම පසුගිය විසිහය වැනිදා තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කූට ලේඛන යොදා හැඳුනුම්පතක් සකස් කිරීම හා කූට ලේඛන මඟින් කුන්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ හා බොද්ධ කටයුතු සමායෝජකගේ අත්සන හොරට යොදා ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා දෙකක් සම්බන්ධව කරන ලද විමර්ශනවලින් පසු මෙම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT