Home » ගල්කිස්සේ තවත් බේකරියකට දෙවන වතාවටත් සීල්

ගල්කිස්සේ තවත් බේකරියකට දෙවන වතාවටත් සීල්

by mahesh
October 11, 2023 1:00 am 0 comment

ගල්කිස්ස - ෂෙහාන් ජයවර්ධන

මිනිස් පරිභෝජනයට ඉතාමත් අහිතකර තත්ත්වයන් යටතේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බේකරියක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සහ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් පසුගියදා වැටලීමට ලක් කර ඇත.

එහිදී මැස්සන්, කැරපොත්තන් සහ මීයන්ගෙන් පාන්, බනිස් ඇතුළු ආහාරවලට හානි වන ලෙස සහ අපිරිසිදු ආකාරයෙන් ගබඩා කිරීම, මීයන් හානි කළ අමුද්‍රව්‍ය භාවිත කර ආහාර සකස් කිරීම, වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් නොකළ සේවකයින් සේවයේ යෙදවීම, පුද්ගලික ස්වස්ථතාවය ඉතාමත් දුර්වල සේවකයින් ආහාර නිෂ්පාදන කටයුතුවල යෙදවීම ඇතුළු සනීපාරක්ෂාවට ඉතාමත් අහිතකර තත්ත්වයන් යටතේ ආහාර නිෂ්පාදනය කිරීමේ නිරත වූ අදාළ බේකරියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අධිකරණය හමුවේ සියලු චෝදනාවලට අදාළ ව්‍යාපාරිකයා විසින් වරද පිළිගැනීම නිසා රුපියල් 34,500ක දඩයක් නියම කොට අදාළ බේකරියේ අඩුපාඩු නිවැරදි කර කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන තෙක් සති දෙකක කාලයකට වසා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව මහජන පරීක්ෂකවරයා පැවසීය. අධිකරණ නියෝගවලට අවනත නොවී සති දෙකක කාලසීමාව ඉක්ම ගියද අඩුපාඩු සෑහීමකට පත්වන ලෙස නිවැරදි කර නොමැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණය වෙත නැවත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයාට තරයේ අවවාද කර බේකරිය තවත් සතියක කාලයකට වසා තැබීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙ නාගරික කොමසාරිස් එම්.එම්.සී.කේ.කේ. මාන්නප්පෙරුම මහතාගේ සහ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයලත් ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සුරක්ෂිත ආහාර නාගරික ජනතාවට ලබා දීමේ වැඩසටහනට සමගාමිව කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා, තරිදු ජයවර්ධන, අනුරාධ පතිරණ, දිල්ෂාන් මධුසංක යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් මෙම වැටලීමට සහභාගි වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT