මිල්ලනිය පනාපේ කොලමැදිරිය මාර්ගයේදී පෙරේදා (9) රාත්‍රී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් කෘෂිකර්ම සංවර්ධන සහකාර නිලධාරිවරයෙකු මියගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ හල්තොට, යාලගල ප්‍රදේශයේ පදිංචි හිරන්ත චාමින්ද නමැති 54 හැවිරිදි මිල්ලනිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුක්තව සේවය කළ පුද්ගලයකු බවත්, ඔහු කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.පී. ක්‍රිෂාන්ත මහතාගේ සොහොයුරෙකු බවත් පොලිසිය පවසයි.
මියගොස් ඇති තැනැත්තා කොලමැදිරිය දෙස සිට මිල්ලනිය දෙසට තම බිරිය සමඟ ගමන් කර ඇති අතර, පනාපේ පාලම අසලදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
බරපතළ තුවාල ලබා සිටී යතුරුපැදිකරුවන් දෙදෙනා සහ මරණකරුගේ බිරිය බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත්, මියගොස් ඇති තැනැත්තා හොරණ දිස්ත්‍රික් රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බවත් රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) හොරණ මූලික රෝහලේ දී හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
තුවාල ලබා ඇති අනෙක් යතුරුපැදිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමුකර ඇත. තුවාල ලද යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.