ලංකා විදුලිබල මණ්ඩලය සතු ට්‍රාන්ස්ෆෝමරයක ලක්ෂ දෙකකට අධික තඹ වයර් කැපීම හා නිවසකට හොරෙන් ඇතුළු වී එහි සියලුම භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු තුන්නාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
ප්‍රදේශයේ සිදුවන සොරකම් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා කෙරෙහි තිබූ සැකය මත හා ඔහු පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටි අවස්ථාවක, බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් (83911) පෙරේරා යන නිලධාරියාට ලද තොරතුරක් මත තුන්නාන ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 100ක් තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු මෙම සොරකම්වලට අමතරව, එම ප්‍රදේශයේ පුද්ගලයෙකු තම නිවසේ ඇතිකරන එළ ගවයකු මොහු විසින් ඝාතනය කර එම මස් අලෙවි කර ඇති බවත්, ට්‍රාන්ස්ෆෝමරයෙන් කපාගන්නා ලද තඹ වයර් තොගය මාර්ගයේ ධාවනය කරන යකඩ බඩු එකතු කරන ලොරි රථයකට අලෙවි කර ඇති බවත්, කුඩා කම්බි කීපයක් පමණක් සැකකරුගේ නිවසේ ඇඳ යට තිබී සොයාගත් බව ද පොලිසිය පවසයි.
තවදුරටත් මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී, තුන්නාන ප්‍රදේශයේ නිවසක කිසිවෙකු නොමැති අවස්ථාවක එම නිවසට ඇතුළු වී, ඔහුට රැගෙන යාමට හැකි සියලුම දේවල් රැගෙන ගොස් ඒවා ද තුන්නාන සහ කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයින්ට අලෙවි කර ලබාගත් මුදල් ද, අනෙකුත් සොරකම්වලින් උපයාගත් මුදල් ද, මත්ද්‍රව්‍ය පානය සඳහා වියදම් කර තිබූ බව සැකකරුගේ ප්‍රකාශ මතින් පොලිසිය තහවුරු කරගෙන ඇත.