Home » රාගම රෝහලේ නීති විරෝධි රථගාල රෝගීන්ට හිරිහැරයක්

රාගම රෝහලේ නීති විරෝධි රථගාල රෝගීන්ට හිරිහැරයක්

by mahesh
October 11, 2023 1:00 am 0 comment

කැලණිය - කේ. එස්. හැන්නදි

රාගම ශික්ෂණ රෝහල ලංකාවේ සතරදෙසින් පැමිණෙන රෝගීන්ගෙන් කිසිදු අඩුවක් නොමැති හදිසි අනතුරු ශල්‍යකර්ම විවිධ පරීක්ෂණ සහ නොයෙක් අන්දමේ බරපතළ රෝගාබාධ නිසා රෝගී තත්ත්වයට පත්වූ රෝගීන් ගිලන්‍ රථවලින් මෙන්ම පවුලේ ඥාතීන් කැටුවද පැමිණෙන කාර්යබහුල රෝහලකි.

රෝහලට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ සිට වම්පසට ඇති මාර්ගයේ කෙළවරක මෘත ශරීරාගාරය පිහිටා ඇති අතර, එම මාර්ගය නිතර කාර්ය බහුල බවක් උසුලන්නේ මළසිරුරු රැගෙන යාමට පැමිණෙන අවමංගල රථ ද එම දොරටුවෙන් මෘත ශරීරාගාරය දෙසට ධාවනය වන හෙයිනි.

මෙම ස්ථානයේ වඩාත් ජනතාව ගැවසෙන ස්ථානය නම් රාගම කොට්ඨාසයේ උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ කාර්යාලයයි. උප්පැන්න සහ මරණ සහතික ලබාගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාව බොහෝවිට ඒ අසල රැඳී සිටිමින් අයදුම්පත පිරවීම සිදු කරති.

මෙම උප්පැන්න මරණ පිටපත් ලබාදීමේ කාර්යාලයෙන් රාගම නගරයේ පිහිටි පෞද්ගලික රෝහල් දෙකක සහ මෑතකදී විවෘත කළ පුනරුත්ථාපන රෝහලට අනුබද්ධිත පිළිකා රෝහලේ සිදුවන මරණ සඳහා ද මරණ සහතිකය නිකුත් කරති.

කනගාටුවට කරුණ වන්නේ මේ ස්ථානයට පැමිණෙන පිරිසට හෝ සඳුදා, බදාදා දිනවල කුඩා දරුවන් ද කරපින්නාගෙන සායන වෙතට එන අම්මාවරුන්ට දරුවාට කිරි බිඳක් පොවා ගන්නා තෙක් හෝ රැඳී සිටීමට පුටුවක් බංකුවක් තබා නොතිබීමය.

මෙම කුඩා ඉඩප්‍රමාණය මේ වන විට නීති විරෝධී යතුරුපැදි නැවතීමේ ස්ථානයක් බවට පත්ව ඇති අතර, මෙම හේතුව නිසා එහි පැමිණෙන සුවහසක් ජනතාව විශාල අපහසුතාවයකට පත්ව ඇති අයුරු දක්නට ලැබේ. රෝගීන් වෙනුවෙන් වෙන්වූ රෝහලක සායනයකට හෝ රාජකාරි කටයුත්තකට පැමිණෙන රෝගියෙකුට හෝ කිරිදෙන අම්මා කෙනෙකුට ගර්භණී මවකට හිඳගැනීමට අසුනක් නොමැති වීම ශෝචනීය කරුණක් බැවින් මෙම නීති විරෝධී යතුරුපැදි නැවතුම මෙම ස්ථානයෙන් ඉවත්කර රෝගීන් වෙනුවෙන් ලී බංකු කීපයක් හෝ තැබීමට පාලක මණ්ඩලය පියවර ගන්නේ නම් එය ඉතාම කාලෝචිත ක්‍රියාවක් යැයි අපහසුතාවයට පත්වන පිරිස පෙන්වා දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT