Home » වතුපිටිවල රෝහලේ සෙම පටල ඒකකයේ සේවිකාවට සේවකයකු සෙම පෙරලා

වතුපිටිවල රෝහලේ සෙම පටල ඒකකයේ සේවිකාවට සේවකයකු සෙම පෙරලා

by mahesh
October 11, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

සැක රෝහල් සේවකයා රිමාන්ඩ්

වතුපිටිවල මූලික රෝහලේ සෙම පටල පරීක්ෂණාගාරයේදී එහි සහෝදර සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන එම ඒකකයේම සේවයේ නියුතු සැකකාර රසායනාගාර ශිල්පියෙකු තවදුරටත් මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (09) පස්වරුවේ නියෝග කළේය.

එම ඒකකය තුළ වසර විස්සක පමණ කාලයක් සේවයේ නියුතු පුද්ගලයෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

වතුපිටිවල මූලික රෝහලේ සෙම පටල පරීක්ෂණාගාරයේදී පසුගිය 01 වැනිදා එහි සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරු නැවත අධිකරණය ඉදිරියට කැඳවූ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මිය කරුණු දක්වමින් පැමිණිලිකාරිය සේවයේ නියුතු සෙම පටල පරීක්ෂණාගාරයේම සැකකරු ද සේවය කරන බවත් මොහු මේ සිද්ධියට පෙර කාමුක හැඟීම් ඇවිස්සෙන අයුරින් අඩ නිරුවත් කාන්තා ජායාරූප පැමිණිලිකාරියගේ ජංගම දුරකතනයට ඒවා ඇති බවත් කියා සිටියාය.

එම ජායාරූප එවීමෙන් පසුව මේ සිද්ධිය සිදු කර ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් සැකකරු වසර විස්සක පමණ කාලයක සිට එහි සේවය කරන බවත් පොලිස් පරීක්ෂකවරිය කීවාය.

පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.

නැවත කැඳවීම මේ මස 16 වැනිදාට කල් තැබිණ.

නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT