එක්දින ලෝක කුසලාන මාධ්‍ය ආවරණය කිරීමට ඉන්දියාවට පැමිණි පාකිස්තාන රූපවාහිනී නිවේදිකා සයිනාබ් අබ්බාස් පෙරේදා ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති අතර, මෙය පිටුවහල් කිරීමක් ලෙස සමාජ මාධ්‍ය ජාලා හැදින්වුවද, එය එසේ නොවන බව අයිසීසී ප්‍රකාශයෙකු මාධ්‍යට පවසා ඇත.
ඇය විසින් කරන ලදැයි කියන ඉන්දීය විරෝධී ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වූ දැවැන්ත ප්‍රතිචාර හමුවේ සයිනාබ් හදිසියේම ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇතැයි පැවැසේ.
සයිනාබ්ට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන විනේට් ජින්ඩාල් මහතා සයිබර් පැමිණිල්ලක් ගොණුකොට ඇති අතර, එය දිල්ලි පොලිස් විමර්ශනවලට ලක්ව ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
සයිනාබ් අබ්බාස් පිළිබඳ මතභේදය ආරම්භ වූයේ ඉන්දියාවට සහ හින්දු ප්‍රජාවට එරෙහිව ඇය 2014දී සිදුකළ ට්විටර් පණිවිඩයකට මේ දිනවල ලැබෙමින් පවතින දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරයත් සමගය. මෙය ඇතැම් අයගේ කෝපය ඇවිස්සීමට තුඩුදී ඇතැයි බොහෝ සමාජ ක්‍රියාකාරීන් සඳහන් කොට තිබිණි. එබැවින් ඇය විසින්ම ආරක්ෂාව පිළිබඳ සිතා ඉන්දියාවෙන් පිටවූ බව ඇතැම් මාධ්‍යවල සඳහන් වේ.
පසුගිය නෙදර්ලන්තයට එරෙහි පාකිස්තාන තරගයේදී 35 හැවිරිදි සයිනාබ් අබ්බාස් හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර, ඊයේ පැවැති ශ්‍රී ලංකාව සමඟ තරගයේදී නිවේදන කටයුතු භාරව සිටියාය. එහෙත් සයිනාබ් අබ්බාස් ඉන්දියාවේ හයිද්‍රාබාද් හරහා හදිසියේම පිටත්ව ගොස් ඇති බවට කරුණු අනාවරණය විය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත සයිනබ් ඉන්දියාව හැර ගිය බවයි.
කෙසේ වුවද, ඇය ඉන්දියාවෙන් පිටුවහල් කළාද නැතිනම් ඇය විසින්ම පිටව ගියාද යන්න පිළිබඳ නිල තොරතුරු මෙතෙක් වාර්තාවී නොමැත. පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයන් වන රමීස් රාජා සහ වකාර් යුනිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර ප්‍රකාශකයින් ලෙස ඉන්දියාවේ කටයුතු කරමින් සිටිද්දී ඇයගේ පිටත්ව යෑම කුතුහලය වැඩි කරවන්නක් වී තිබේ.