ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි. හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා කොට ජය මාවත විවරකර ගත්තේය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ගණනක් හඹාගොස් ජයගත් තරගය මෙය ලෙස වාර්තා විය.
පාකිස්තාන පිල මෙම තරගාවලියේ වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය මෙය විය. පාකිස්තානය විසින් මෙයට දින කිහිපයකට පෙර නෙදර්ලන්තය ලකුණු 81කින් පරාජය කිරීමට සමත් විය. මේ හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්ව සිටී.
ඊයේ තරගයේදී පාකිස්තාන පළමු කඩුලු දෙක ලකුණු 37ක් තුලදී දැවී ගොස්, ලොකු අමාරුවක වැටී සිටියදී එයින් ගොඩ ගැනිමට සමත් වූ අබ්දුල්ලා සෆීක් හා මොහොමඩ් රිස්වාන් එක්ව තෙවැනි කඩුල්ල්ට ලකුණු 176ක සම්බන්ධතාවක් ගොඩනැගීම පාකිස්තාන ඉනිමේ හැරවුම් ලක්ෂය විය. මේ දෙදෙනා ඉතා කල්පනාකාරීව පාකිස්තාන ඉනිම ගොඩ නැංවීම ප්‍රශංසනීය මෙහෙවරකි.
මතීෂ පතිරණගේ පන්දුවකට වේගයෙන් පහරක් එල්ල කළ අබ්දුල්ලා සෆීක්ගේ උඩ පන්දුව ගුවනේ පාවෙමින් රැකගත් දුෂාන් හේමන්ත තෙවැනි කඩුල්ල බිඳ හෙලීමට දායකත්වයක් ලබා දුනි. පාකිස්තාන පිලේ ෆකර් සමාන් වෙනුවට ඊයේ ක්‍රීඩා කළ අබ්දුල්ලා සෆීක් පන්දු 103කදී හයේ 3ක් හා හතරේ 10ක් සමග ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වූූ අතර, පාකිස්තාන ඉනිම ගොඩනැගූ අනෙක් පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 121කදී හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 131ක් ලබා තම ජාත්‍යන්තර එක්දින දිවියේ 3 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වූවේය.
කෙසේ වුවද සාහිද් ෂකීල් ලකුණු 25ක් ලබා සිටියදී ‘ඩීප් මිඩ්ඕෆ්‘ හී සිටි දුෂාන් හේමන්ත අතට උඩ පන්දුවක් ලබාදුන් අතර, එය ගිලිහී යෑමෙන් පසු මහීෂ් තීක්ණගේ පන්දුවකට වෙල්ලාලගේ උඩ පන්දුවක් රැකගත් හෙයින් ලකුණු 31කට දැවී ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලාකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය රැස්කරමින් පන්දු 65කදී සිය ශතකය සම්පූර්ණ කිරිමට සමත් විය. මෙයට පෙර කුමාර් සංගක්කාර 2015 වසරේ එංගලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පන්දු 70කදී ශතකය වාර්තා කොට ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ වේගවත්ම ශතකය වාර්තා කර තිබිණි.
පාකිස්තාන පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ කුසල් මෙන්ඩිස් හසන් අලීගේ පන්දුවකට ‘මිඩ්විකට්‘ හරහා දැවැන්ත හයේ පහරකින් තම ශතකය වාර්තා කිරීමට සමත් වුයේ නරඹන්නන් කුල්මත් කරවමිණි. වෙනදා ශ්‍රී ලංකා පිලට තර්ජන ගෙන එන ෂහින් ෂා අෆ්රිඩී යැවූ 25 වැනි ඕවරයේදී කුසල් මෙන්ඩිස් පිට පිට හතරේ පහර 3ක් එල්ල කළ අතර, දැවී ගියේ මිඩ්විකට් දෙසින් හයේ පහරක් එල්ල කිරීමට යෑමෙනි. කුසල් මෙන්ඩිස් තම 10 වැනි අන්තර්ජාතික එක්දින ශතකය වාර්තා කිරීමෙන් පසු හසන් අලීගේ පන්දුවකට හතරේ සීමාව අසල සිටි ඉමාම් උල් හක් අතට උඩ පන්දුවක්දී ලකුණු 122කට දැවී ගියේය. එම ලකුණු ගණනට හයේ පහර 6ක් හා හතරේ පහර 14ක් ඇතුලත් විය.
කුසල් මෙන්ඩිස් අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර එක්දින ඉනිම 10 කදී ලකුණු 545ක් රැස්කොට ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරතවී සිටී.
කුසල් මෙන්ඩිස් හා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අතර දෙවැනි කඩුල්ලට පන්දු 95කදී ලකුණු 102ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, කුසල් හා සධීර අතර තෙවැනි කඩුල්ලට පන්දු 69කදී වේගවත් ලකුණු 111ක සම්බන්ධතාවක් ගොඩ නැංවුණි.
ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කැපීපෙනෙන පිතිකරුවෙකු බවට පත් වූ සධීර සමරවික්‍රම පන්දු 89කදී හයේ 2ක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 108ක් ලබා ගැනීම ලකුණු වේගය ඉහළ නංවා ගැනීමට ප්‍රබල දායකක්වයක් සැපයීය. ඔහු තම මංගල එක්දින ශතකය හයිද්‍රාබාද් පිටිය වර්ණවත් කරමින් වාර්තා කළේය. පැතුම් නිශ්ශංක පන්දු 61කදී හයේ පහරක් හා හතරේ පහර 7ත් සමඟ ලකුණු 51ක් ලබාගත් අතර එය ඔහුගේ 10 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය විය.
ශ්‍රී ලංකා පිල සහභාගීවන මීළග තරගය ලබන 16 වැනිදා ලක්නව් හීදී ඔස්ය්රේලියාවට එරෙහිව පැවැත්වේ.
———————————————————————————————————————————
කුසල් රෝහලට
පකිස්තානයට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට පැමිණි පසු උදරාබාධයකට ලක්වීමෙන් රෝහල් ගත කෙරිණි. මෙන්ඩිස් වෙනුවෙන් දුෂාන් හේමන්ත පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ අතර, මෙන්ඩිස්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය. අනතුරුව සධීර සමරවික්‍රම කඩුලු රැකීමේ වගකීම භාර ගත්තේය.