Home » ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්

by chanaka
October 11, 2023 9:28 am 0 comment

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතා සමඟ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අත්සන් කළේය.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩා කණ්ඩායම්හි දක්‍ෂතා එළිදැක්වීමට, තොරතුරු හා වැඩසටහන් හුවමාරු කරගැනීම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩා ක්‍ෂේත්‍රය හඳුනා ගනිමින් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට හැකි වේ. තවද, මෙම ද්වීපාර්ශ්වික සහයෝගීතාව මඟින් පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.

තවද, ඕස්ට්‍රේලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙමඟින් අවස්ථාව සැලසේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT