Home » පැල්වත්තෙන් රටටම කිරි ඉතිරෙයි

පැල්වත්තෙන් රටටම කිරි ඉතිරෙයි

by sachintha
October 12, 2023 1:01 am 0 comment

 

මේ සිදුවීම වෙන්නේ හැත්තෑව දශකයේ මුල් වකවානුවේදීයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් සැපිරූ සිසුවෙකු ඒ සඳහා ඇතුළත් නොවී කොළඹ වරාය කොමිෂන් සභාවේ කිමිදුම්කරුවෙකු වීමට තීරණය කරයි. තමන් කැමතිදේ කිරීමට අදිටන් කරගත් ඔහු අන් අය කළ නොහැකියි කියමින් මැසිවිලි නඟන දෑ කර පෙන්වීමට කැමති පන්නයේ අභියෝග කැමැත්තෙන් භාර ගන්නා සුවිශේෂී චරිතයකි. ආරියසීල වික්‍රමනායක නම් ඒ අපූරු තරුණයා එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට කළ නොහැකියි සිතා සිටි බොහෝ දෑ ප්‍රායෝගිකව පෙන්වීමට සමත් වූ සුවිශිෂ්ට ලාංකික පුත්‍ර‍ෙයකි.

ඒ දැක්ම අනුව ශ්‍රී ලාංකිකයෙකු විසින් ස්ථාපිත කළ පළමු කිමිදුම් හා නාවික සේවා සපයන ආයතනය වන MASTERS DIVERS ආයතනය ස්ථාපිත කළ ඔහු කොළඹ වරායෙහි නාවික කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමේ සේවා සපයන්නෙක් බවටත් පත්විය. මේ නිසාම කොළඹ වරාය සේද මාවතේ කාර්යක්ෂම වරායක් ලෙස ගෝලීයව කීර්තියක් අත්කර ගැනීමටත් සමත්විය.

ඉන් නොනැවතී ඔහු මෙරට දියුණුව අපේක්ෂාවෙන් කළ යෝජනා අතර හම්බන්තොට වරායක් ස්ථාපිත කිරීමේ යෝජනාව මූලික වෙයි. “ගන්න අපේ දේ” යන තේමාවෙන් යුතුව දේශීය නිෂ්පාදන මිලදී ගෙන විදෙස් විනිමය රැක ගැනීම සඳහා කලෙක සිට දේශීය ආර්ථිකය ගොඩනැඟීමට අවැසි මතවාදී පසුබිම මෙන්ම ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැඟීමට උරදී සිටින ආරියසීල වික්‍රමනායක මහතා “මවුබිම ලංකා පදනම” ඔස්සේ සිදු කරන මෙහෙය සුවිශේෂීය.

ආනයනය සීමාකොට අපනයන දියුණු කළ යුතුය යන ප්‍රතිපත්තියට උරදෙමින් පාඩුපිට වසා දමා තිබූ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව මිලදී ගත් එතුමා එය ලාභ උපයන තත්ත්වයට පත්කර ඇත්තේ දිරාපත් වෙමින් පැවති ජාතික සම්පතකට නිසි වටිනාකමක් ලබා දෙමින්ය.

පාන්පිටි කෑම නවතන්න. අපේ දේවල් ආහාරයට ගන්න වැනි තේමාවන් කරළියට ගෙන ආවේ එතුමා විසිනි. එපමණක් නොවේ ඒවා ක්‍රියාවෙන් සනාථ කිරීමටත් ඒ මහතා නිරන්තරව කැපවී සිටී.

පිටරට කිරි පරිභෝජනය වෙනුවට දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීම ජාතික වගකීමක් බව වික්‍රමනායක මහතා නිරන්තරයෙන් පැවසීය. එසේ පැවසීමෙන් නොනැවතී එතුමා ඒ සඳහා පෙරමුණ ගත්තේය. පිටරටින් ගෙන්වන කිරිවලට වඩා නැවුම් රසයකින් සහ ඉහළ ප්‍රමිතියකින් යුතුව පිටිකිරි නිෂ්පාදනය කළ හැකියි පැවසූ එතුමා එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට සමත්වූයේ පැල්වත්ත කිරි කර්මාන්ත ශාලාව ස්ථාපති කරමිනි.

ඒ ගැන ආරියසීල වික්‍රමනායක මහතා සිහිපත් කරන්නේ මෙසේයි. “පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට උක් සැපයූ ගොවීන්ගේ පෝෂණය හා ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට මඟක් ලෙස වසරක් පාසා කිරි ගවයින් ලබා දීමට කටයුතු කළා. ඒ ආකාරයට උරදීමට අවස්ථාව ලැබුණේත් දෛවෝපගත විදිහට මම කියැවූ පුවත්පත් ලිපියක් නිසයි. ඒ සඳහා මූලික අඩිතාලම වැටුණේ ඒ ලිපියෙහි සඳහන් වූ බෞද්ධ හිමියන් විසින් පුණ්‍ය කටයුත්තක් ලෙස වසරකට කිරි ගවයන් 400ක් පමණ නිදහස් කරන බවයි. නමුත් මෙසේ නිදහස් කරන ගවයින් රැකබලා ගැනීම සඳහා සුදුසු ගොවීන් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්වී ඇති බව උන්වහන්සේ සඳහන් කර තිබුණා. ඒ සඳහා හැකි කෙනෙකුගෙන් උදවු ඉල්ලා තිබුණා. මම උන්වහන්සේ සොයා ගියා. මම යන විටත් උන්වහන්සේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේ. මම එහිදී ඉල්ලා සිටියා අපේ පැල්වත්ත සීනි සමාගමට උක් සපයන ගොවීන්ට මේ නිදහස් කරන ගවයින් ලබා දිය හැකි නම් ගවයින්ගේ දිවි පැවැත්ම සුරක්ෂිත වෙනවා සේම ගොවීන්ගේ ආර්ථිකයටත් යහපතක් අත්කර දිය හැකි බව. උන්වහන්සේ ඒ යෝජනාවට සතුටු වුණා. මගේ අත උඩින් අත කියලා කීවා. “මම හෙවුවා, මට හම්බවුණා කියලා.” මෙහෙම ලබා දුන් කිරි ගවයින් නිසා උක් ගොවීන්ගේ ජීවන තත්ත්වයත් දියුණු වුණා. ඔවුන්ගේ පවුල්වල පෝෂණය මෙන්ම ආර්ථිකයටත් ඉන් සෙතක් වුණා.

මේ ගවයින්ගේ රැකවරණය සඳහා සුදුසු මඩු සකසා දීම පශු වෛද්‍ය පහසුකම් ලබා දීම වගේ කාරණා අප විසින් නිරන්තරයෙන් සොයා බැලුවා. කලක් ගත වන විට ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය ඉහළ ගියත් මිල්කෝ සමාගමෙන් කිරි මිලදී ගත්තේ සීමා සහිතව. ගොවීන්ගේ කිරි සඳහා නිසි මිලක් ලැබුණේ නෑ. මේ සඳහා පිළියමක් සෙවීම මගේ කාර්යයක් බවට පත් වුණා.

මම රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් කිහිප දෙනකුට රැකියා ලබා දෙමින් යෝගට් කර්මාන්ත ආයතනයක් ආරම්භ කළා. ඉන් පසුව 2006 දී කිරි ලීටර් 20,000ක් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. දේශීය කිරි වෙළෙඳපොළ සමතුලිත කිරීම සඳහා දේශීය ආයෝජනයක් අත්‍යවශ්‍යව තිබුණා. මම කළේ ක්‍රමානුකූලව ඒ හිදැස පිරවීමයි. මගේ කර්මාන්ත ශාලා ස්ථාපිතවීමට සාපේක්ෂව මෙරට කිරි ගොවීන්ගේ ජීවන මට්ටමත් ඉහළ ගොස් තිබෙනවා. ඊට හොඳම සාක්ෂිය ඔවුන්ගේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යාම. දැන් මේ රටේ කිරි ගොවියෝ දෛනිකව හොඳ ආදායමක් උපයන පිරිසක් බවට පත් වී තිබෙනවා. ඊට හේතුව ඔවුන්ගේ කිරි සඳහා හොඳ මිලක් ලැබෙනවා වගේම නිෂ්පාදනය කරන කිරි සියල්ල පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා විධිමත් ක්‍රමයක් සැකසී තිබීමයි.

අපි කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන විටත් රටේ කිරි නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පැවතියේ. ඊට හේතුව එතෙක් කිරි ලීටරයකට ලබා දුන් රුපියල් 27ක මුදල රුපියල් 40 දක්වා 2005දී ඉහළ දැමීමයි. මෙසේ කිරි සඳහා ගෙවන මුදල නැවතත් 2010දී මැතිවරණ පොරොන්දුවකට අනුව රුපියල් 50 බවට පත් වුණා. ඒ අනුවත් කිරි නිෂ්පාදනයත් ඉහළ ගියා. ඊට හේතුව මිල වැඩිවීමත් සමඟ ගොවීන් මේ කර්මාන්තයට ඇති උනන්දුවත් කැපවීමත් ඉහළ යාමයි. නැවතත් කිරි මිල ඉහළ දැමුවේ 2015 මැතිවරණයත් සමඟයි. ඒ අනුව කිරි ලීටරයේ මිල රුපියල් 75 බවට පත් වුණා. රටේ කිරි නිෂ්පාදනය පිළිබඳව දත්ත පරීක්ෂා කරන විට වැටහේවි මෙසේ මිල වැඩි කරන සෑම අවස්ථාවකටම පසුව නිෂ්පාදන ධාරිතාවත් ඉහළ යන අපූරුව. වර්තමානයේ දියර කිරි පානයත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට රජය විසින් (පශු සම්පත් මණ්ඩලය) කිරි ලීටරයකට රුපියල් 260ක් ගෙවනවා.

කිරි නිෂ්පාදනය ඉහළ යාම නිසාම ලීටර් 20000 කර්මාන්ත ශාලාව මදි වුණා. මට තවත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සිදු වුණා. ඒ අනුව ඩෙන්මාර්කයෙන් දියර කිරි පිටි බවට පත් කරන නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර ගෙන්වා දිනකට කිරි ලීටර් 80000ක්. නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. එහි කටයුතු අතරතුර තවත් කර්මාන්ත ශාලාවක් සෑදීමේ අවශ්‍යතාව ඇතිවූයේ පැල්වත්ත කිරි සඳහා වෙළෙඳපොළෙහි ඇතිවූ ඉල්ලුම මෙන්ම කිරි නිෂ්පාදනයෙහි අතිරික්තයක් පැවතීම නිසායි. මේ වන විට කර්මාන්තශාලා තුනක දෛනිකව කිරි ලීටර් දෙලක්ෂ පනස්දහසක නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. ඒ අතර බටර්, යෝගට්, චීස්, අයිස්ක්‍රීම් වැනි කිරි ආහාර මෙන්ම දියර කිරිත් නිෂ්පාදනය කරනවා.

අපි ඉතාමත් ආඩම්බරයෙන් කියන්නේ දැන් ලංකාවේම ඉල්ලුම සැපිරිය හැකි ආකාරයේ කිරි නිෂ්පාදනය ඉහළ දමා අවසන්. එය දේශීය කර්මාන්ත ආයතනයක් ලෙසින් අපි ලත් ජයග්‍රහණයක්. ‍ෙම් ලබා දෙන හැම කිරි බිංදුවක්ම අපේම රටේ කිරි දෙනුන්ගෙන් දොවා ගත් නැවුම් කිරි වීම විශේෂයි. පැල්වත්ත කිරි නිසා මේ රටේ කර්මාන්තයේ ඇතිවී ඇති දියුණුව ඉතාමත් ඉහළයි.

ගණන් බලා ඇති ආකාරයට කිරි කර්මාන්තය තුළ මසකට රුපියල් මිලියන 5000ක පමණ මුදලක් බෙදී යනවා. පවතින දත්ත අනුව රටපුරා කිරි දෙනුන් ලක්ෂ 13ක් පමණ විසිරී ඉන්නවා. මේ සැමගේ කිරි මෙතන නෑ. මේ මිලියන 5000 ප්‍රධාන කර්මාන්ත ආයතන වෙතට ලබා දෙන කිරි ප්‍රමාණය පමණයි.

මගේ අපේක්ෂාව දැනටත් අපේ කර්මාන්ත ශාලා වෙත නොලැබෙන ඒ කිරිවලින් කොටසක් හෝ රැස්කර අපනයන වෙළෙඳාම දියුණු කිරීමයි. ඒ අනුව අපගේ හතරවැනි කර්මාන්ත ශාලාව කුරුණෑගල ඉදිකිරීමට සැලසුම් කරනවා. ඉන් අනතුරුව පස්වැනි කර්මාන්ත ශාලාව කන්තලේ හෝ යාපනයේ ඉදිකිරීමටයි අපේක්ෂාව. මේ වන විටත් රටේ දෛනික කිරි අවශ්‍යතාව සපුරා ඇති නිසා කිරි සහ බටර්, චීස් වැනි ආහාර අපනයනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා. දැනටමත් බටර් අපනයනය කරනවා. තවදුරටත් පිටරට කිරි අවශ්‍ය නොවන මට්ටමට මේ කර්මාන්තය ගොඩනැඟීමට හැකිවීම රටක් වශයෙන් අප ලත් ජයග්‍රහණයක්. මේ නිසා වාර්ෂිකව කිරි ආනයනය සඳහා වියදම් කළ ඩොලර් මිලියන 400ක් පමණ විදෙස් විනිමය ප්‍රමාණයක් ඉතිරි කිරීමට හැකිවී තිබෙනවා. මේ කර්මාන්තය නිසා ඍජුව 1000කට පමණ හා වක්‍රව විශාල පිරිසකටත් රැකියා ලැබී තිබෙනවා.

අපේ රට දියුණු කිරීමේ මූලික මඟ කෘෂි කර්මාන්තයයි. වසර දහස් ගණනක් පුරා අපි ලත් දැනුම අත්දැකීම් අපි සතුයි. අල, ලූනු, කහ, ඉඟුරු වැනි භෝග පිටරටින් ගෙන්වීම ඒ ගොවියාට කරන අසාධාරණයක්. ගොවියා කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙන්නේ මේ හේතු නිසා. ප්‍රතිපත්තිමය තීරණ ඇති විට පමණයි එවැනි අංශ දියුණු කළ හැක්කේ. පාන් සඳහා සහන දීම සීමා කර බත් කෑම සඳහා මූලිකත්වය දිය යුතුයි. වී කිලෝවට හොඳ මිලක් ලබා දීමෙන් පමණයි වී ගොවිතැනට සාධාරණයක් හිමිවෙන්නේ. ප්‍රතිපත්ති නොමැතිව රටක් දියුණු කිරීම අසීරුයි. එසේ තීරණ ගැනීමට හැකි නායකයකුට පමණයි අනාගතය ශක්තිමත්ව ගොඩනැඟිය හැක්කේ.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT