Home » මහා සිංහලේ වංශකතාව මම තනියෙන් ගහපු කැරැල්ලක්
අනතුරට පත් වීමට දින කිහිපයකට පෙර ජැක්සන් සමඟ කළ මෙතෙක් පළ නොවූ සම්මුඛ සාකච්ඡාව

මහා සිංහලේ වංශකතාව මම තනියෙන් ගහපු කැරැල්ලක්

by sachintha
October 12, 2023 1:05 am 0 comment

ජාත්‍යන්තරයට ගෙනියන්න අපට දැන් දේශීය මල්ලක් නෑ

මට මේ කීර්තිය අවශ්‍ය නැහැ ස්මාරක අවශ්‍යත් නැහැ

හැඟීම් ආකර්ෂණීයයි ආකර්ෂණීය බව කලාවට අවශ්‍යයි

ජැක්සන් යනු කලාගාරයකි. අද දින ඔහු දැයෙන් සමු ගනී. ඔහු විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයක සිටිය යුත්තෙකු බව නොපැකිළවම කිව හැකියි. තවත් එවැන්නකු ලෙස ජයන්ත චන්ද්‍රසිරි ද දැක්විය හැකිය. ඒ අනෙකුත් කාරණා සියල්ල පසෙකලා ඔවුන් දෙදෙනා සතු අනුපමේය ඉතිහාස දැනුම නිසාය. ඉතිහාසය පිළිබඳ නව කියැවීම නිසාය. ඉතිහාසය අලුතින් කියැ වූ ආකාරය නිසාය. බලන්න. මෙම ප්‍රවේශය. ජැක්සන් නම් වූ අසහාය කලාකරුවා අනතුරට පත් වීමට දින කිහිපයකට පෙර සිදු කළ සම්මුඛ සාකච්ජාවකි. ඔහුට උපහාරයක් වන්නට එම සාකච්ඡාව මෙසේ පළ කර සිටිමු.

ඔබ ඉතිහාසය කියන සංකථනය නිර්වචනය කරන්නේ කොහොමද ?

ඉතිහාසය කියන්නේ සිතුවිල්ලක්. සරලව සිනමා භාෂාවෙන් ගත්විට ෆැන්ටසි එකක්. එනම්, අතීත සිදුවීමක වාර්තාව පිළිබඳ අප නිර්මාණය කර ගන්නා රූපාවලියක්. චිත්‍රපට රූපාවලිය නොවේ. ඕනෑම කෙනෙක් තනාගන්නා ඉතිහාසය පිළිබඳ රූපාවලිය. ඒ කියන්නේ අප නොදැකපු දෙයක්. එය ඕනෑම කෙනෙකුගේ සිත තුළ රූපකායකින් තමයි තැන්පත් වෙන්නේ.

මම දන්නා කරුණු කාරණා මත, මගේ සොයා ගැනීම් මත මා තුළ ඇතිවන සිතුවිල්ල නොවේ ඔබ තුළ ඇතිවන්නේ. ඒ නිසා හරිම ස්වාධීන චින්තන ධාරාවක් තමයි ඉතිහාසය කියන්නේ. ඒ නිසාම ඉතිහාසය වගා වනසුලුයි. එය පුරා වස්තුවක් නොවේ. පුරාවස්තුවක් ක්ෂය වී යනු මිස වර්ධනය වෙන්නේ නැහැ. නමුත්, ඉතිහාසය දත්ත සමුදායක් මත පදනම් වූ චින්තන ස්වරූපයක් පමණක් වන නිසා එය වගා වෙනවා.

ඉතිහාසය ලෙස මම සලකන්නේ බහුවිධ සාකච්ඡා මාලාවක්. විවිධ අය විසින් සොයා ගන්නා ලද විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන ලද, තොරතුරු අතර උත්තර සංවාදයක්. සමස්ත සංවාදයම තමයි ඉතිහාසය ලෙස හඳුන්වන්නේ. ඔබේ තොරතුරු සහ මගේ තොරතුරු එකතු වූ විට එය ඉතිහාසයයි. ඉතිහාසය තනි කර්තෘවරයකුගේ නිර්දේශයක් නොවේ. මහාවංශය කියන්නේ ඉතිහාසය පිළිබඳ කරුණු සොයන්නට ඇති තොරතුරු රැසක්. දත්ත රාශියක්. දත්ත රාශිය එක්රැස් කළ කෙනාට කර්තෘත්වය ලැබෙන්නේ එම දත්ත සමුදාය සම්බන්ධයෙන් පමණයි. දත්ත එකතු කර පොදු ජනතාව තුළ ඇතිවන චින්තන ධාරාවට කතෘත්වයක් නැහැ. අවශ්‍ය නම්, එම කර්තෘත්වය සඳහා තමාව ඇතුළත් කර ගත හැකියි. මම, ඔබ සිතන ආකාරය ලෙස. එම නිසා සිතුවිලිධාරියාගේ නම අවශ්‍ය නම්, චින්තන ධාරාවේ කර්තෘත්වයට යොදා ගන්න පුළුවන්. එතරම් නිදහස්, දත්ත මත පදනම් වූ සිතුවිල්ලක් තමයි ඉතිහාසය කියන්නේ. ඉතිහාසය පිළිබඳ මම කරන නිර්වචනය තමයි “ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ වාර්තාවයි” යන්න. පරාජිතයාට වාර්තාවක් නැහැ. ජයග්‍රහණය කළ තැනැත්තා හෝ ඒ තැනැත්තා වෙනුවෙන් ඒ තැනැත්තාගේ ඉදිරිපත් කිරීමෙනුයි ඉතිහාසය ලියැවෙන්නේ. උදාහරණයක් ලෙස, දුටුගැමුණු රජු ජයග්‍රාහකයායි. ඔහු පිළිබඳ මහාවංශ ඉතිහාසයේ පරිච්ඡේද 20ක් පමණ ලියවිලා තිබෙනවා. නමුත්, වසර 44ක් රට පාලනය කළ එළාර රජු පිළිබඳ වාර්තාවක් නැහැ. පරාජිත වාර්තා රැසක හිස්තැන් ඉතිහාසය තුළ තිබෙනවා. එම නිසයි මා කියන්නේ ඉතිහාසය වගා වන බව. වර්තමානයේ සිට අනාගතය දක්වා උත්සාහය ඇත්තේ ඉතිහාසයේ හිස්තැන් පිරවීමටයි. එය තමයි වගකීම. පුරවැසියාගේ වගකීම වනාහි ඉතිහාසයේ හිස්තැන් පිරවීමයි. හිස්තැන් වනාහි පරාජිතයාගේ හිස්තැනුයි. රාජ රාජ චෝල, රාජේන්ද්‍ර චෝල අනුරාධපුරය ගිනි බත් කර, අවුරුදු පනස් ගණනක් යටත්කරගෙන සිටියා. ඒ කාලයේ සිංහල සමාජය පරාජිතයි. තවමත් අපට ඒ යුගය ගැන තොරතුරු නැහැ. ඇත්තේ දකුණු ඉන්දියාවේ ඇති සෙල් ලිපිවල පමණයි.

සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ඉතිහාසය කියවීම ගැන ඔබගේ අදහස මොකක්ද?

ඵෙතිහාසික කතා පුවත් ගත්තොත් ඒවා බොහෝ දුරට රාජකීයයන්ගේ ඉතිහාසයයි. සිනමා පටය ගත්තොත්, එයත් රාජකීය පාර්ශවය ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ.

එතකොට සාමාන්‍ය ජනතාවගේ ඉතිහාසය

අත්හැරුණා, මඟහැරුණා කියන කාරණාව පිළිබඳව ඔබේ අදහස ?

මම හිතන්නේ නැහැ මඟ හැරුණා කියලා. දැන් කතා මූලය සහ ජානය පිළිසිඳ ගන්නේ රජවාසල තුළ. දැන් ඔබට මතක ඇති මෙහි එක වචනයක් පාවිච්චි කරනවා “යකුන්නෙ රැහේ ලේ ධාතුව” කියලා. යකුන්නෙ රැහේ ලේ ධාතුව කියලා පණ්ඩුකාභයව හඳුන්වනවා. මේක රාජකීය ඉතිහාසයේ සඳහන්වූ දෙයක් නෙවෙයි. අබා විජය, අභය, ආර්ය රැහේ ලේ ධාතුව කියලනේ කියන්නේ. මහාවංශය විග්‍රහ කරන්නේ. නමුත්, මම ඒකට අලුතින් වචනයක් නිර්දේශ කළා. යකුන්නෙ රැහේ ලේ ධාතුව කියලා. ඒ නිසා මම රාජකීය මතවාදය තුළ නැහැ. මාළිගාව තුළට මම ඇතුළත් කරනවා. යකුන්නෙ රැහේ ලේ ධාතුව. මම කියන්නේ මාළිගාව තුළ මම රැඳෙන්නෙ බොහොම ටික කාලයයි. මාළිගාවෙන් මම ගන්නේ ටිකයි. සිනමාව පිළිබඳ මෙම කියැවීම මට මුණ ගැසුණේ ඔහුගෙන්ම පමණයි.

ඔබ සිනමාව කියන ශානරය නිර්වචනය කරන්නෙ කොහොමද?

මම නිතරම සිනමා චින්තනය පිළිබඳව සිතනවා. මොකද එතැන තමයි විශේෂත්වය තියෙන්නේ. එනම්, සෙසු කලා මාධ්‍යයන් අතරින් සිනමාව වෙනස් වෙන්නේත්, සිනමාව තුළින් මගේ සිනමාව හෝ වෙනත් අයකුගේ සිනමාව වෙනස් වන්නේත් චින්තනය පෙරදැරි කරගෙනයි. ප්‍රකාශන මාධ්‍යමය වෙනසක් නිසා සෙසු කලා මාධ්‍යයවලින් චිත්‍රපටය වෙනස් වෙනවා.

ඉතිහාස කතාවක් යොදා ගැනීමෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණාද?

ඔව්. මෙහි පසුතිරයේ තිබෙන කතාව මේකයි. මම උසස් පෙළවත් විශ්වවිද්‍යාලයේවත් විෂයයක් විදිහට ඉතිහාසය හදාරපු කෙනෙක් නොවෙයි. සහශ්‍රකයට ගොඩ නැඟෙනකොට මේ රටට බලපාපු නව ලිබරල්වාදී බටහිර මතවාද තමයි, අපට සහශ්‍රකය හඳුන්වා දුන්නේ. සහශ්‍රකය, විශ්ව ගම්මානය වගේ සංකල්ප, ගෝලීයකරණය අපට එන්නේ නව ලිබරල් මතිමතාන්තර විදිහට.අමෙරිකානු මතිමතාන්තර විදිහට. අමෙරිකානු බුල්ඩෝසරය තමයි, ආසියාවේ කඳු හෙල් සමතලා කරගෙන එන්නේ. එනම්, විශ්ව ගම්මානය යන්න අමෙරිකාව හඳුනාගත්තේ මුළු ලෝකයම අමෙරිකානු වීම කියන එක. නමුත්, විශ්ව ගම්මානය කියන්නේ එය නොවේ. විශ්ව ගම්මානය කියන්නේ විවිධ වර්ණ එකතුවීම කියන එක. සහශ්‍රකයට ළං වන විට එළඹෙන විශ්ව ගම්මානය පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා සංවාද පැවැත්වුණා. මම ජාත්‍යන්තර කියන වචනය හඳුනාගන්නේ වචනාර්ථයෙන්මයි. ඒ කියන්නෙ ජාතීන් අතර කියන එක ජාතියෙන් තොර නෙමෙයි. අපි ජාත්‍යන්තර සමාජයට ගොඩ නැඟෙන්නට නම්, එම වචනාර්ථයට සූදානම් විය යුතුයි.

එකක්, අපි ඉතිහාසය දන්නේ නැහැ. අනිත් එක නොදන්න ඉතිහාසයට වැරදි ඉතිහාසයක් කවමින් සිටියා. ඒ වන විට ජාත්‍යන්තර සංවිධාන වගේ දේවල් සහ මම මුලින් සඳහන් කළ ලිබරල්වාදය මේ සඳහා බලපෑවා. කෝල්බෲක්, කැමරන් ආදීන්ගේ ලිබරල්වාදය නවීකරණය වෙලා ඇතිවුණ නව ලිබරල්වාදය, යැන්කි පහේ ලිබරල්වාදය, අමෙරිකානු ලිබරල්වාදය තමයි, අද වෙනකොට පවතින්නේ. එතකොට මේ සියල්ලට අපි අහුවෙන්නෙ ඇයි? අපට දැන් දේශීය මල්ලක් නෑ ජාත්‍යන්තරයට ගෙනියන්න. මම තනියෙන් කල්පනා කරල, තනියෙන් ගහපු කැරැල්ලක් තමයි “මහා සිංහලේ වංශකතාව” කියන වැඩසටහන. ඉතිහාසය විෂයට ලොකු ජනප්‍රියත්වයක් හටගත්තා. කම්මැලිය, අලසය, වැඩක් නැතිය කියල කියපු විෂයය මම, හරිම විනෝද සාකච්ඡාවක් විදිහට මේ වැඩසටහන ජනප්‍රිය කළා.

මට මේ කීර්තිය අවශ්‍ය නැහැ. ස්මාරක අවශ්‍ය නැහැ. නැවත තව අවුරුදු විස්සකින් විසිපහකින් හරි නැවත මේ රටේ ඉතිහාස සංහාරයක්, ඒ කියන්නේ මම නැතිවුණ දේ ඇති කළා කියලා මාධ්‍යකරුවෙක් විදිහට සන්තෝෂ වුණා. අන්න ඒ ඉතිහාස ප්‍රවර්ධන වැඩ පිළිවෙළේම මගේ සිනමාත්මක ප්‍රකාශය තමයි “අබා” කියන්නේ. ඒ නිසා තමයි “අබා” අහම්බයක් නොවෙයි කියල මම කිවුවේ. ඉතිහාසය නැවත මේ රටේ ප්‍රවර්ධනය කරන්න, නැවත ඉතිහාස සාකච්ඡාවක් ඇති කරන්න අවශ්‍ය නිසා හිතාමතාම මේ කැරැල්ල ගැහුවා. මම විසින් අවුස්සපු ඉතිහාස වුවමනාවට සිනමා ප්‍රකාශනය තමයි මම 2007 දී “අබා” බවට පත් කළේ.

දැන් මේක හරිම පාරදෘශ්‍ය ක්‍රියාවක්. පළවෙනි දේ තමයි, අබා විසින් ඵෙතිහාසික සිනමාපට රැල්ලක් ඇති කළා කියන කතාව. ඒක තමයි ඇත්ත. ඒක තමයි, විචාරක මතය සහ චෝදනාව. ඒ නිසා සිනමාවට හානියක් සිද්ධ වුණා කියලා චෝදනාවකුත් සමහර පිරිසක් කරනවා. ඉතිහාසයට එකඟ නැති, ඉතිහාසය වළලා දැමිය යුතුයි, නැවත කතා නොකළ යුතුයි කියන පිරිසකුත් ඉන්නවා. මේ සියලු දේවල් අහම්බ නොවේ. සැලසුම්. උදාහරණයක් හැටියට අබා චිත්‍රපටය නිර්මාණය කරන්න පෙර 2007 වසරේ පවත්වපු මුහුරත් උළෙලේදී මගේ කතාවේ, මම කිවුවේ මම විවර කරන්නේ සංස්කෘතික ගේට්ටුවක් යන වග. එම ගේට්ටුවෙන් බොහෝ දෙනාට එළියට එන්න පුළුවන් කියලා. ඔබ කිවුව කාරණාව තමයි, මගේ සිතේ තිබුණ දේත්. චින්තනය විසින් ඉතිහාසයේ අඩු පුරවන බව. අපි ඉතිහාස වාර්තා ගතහොත් ඒවාට හැඟීම් තිබුණේ නැහැ. සිදුවීම් පමණයි. “මෙය මෙසේ සිදු විය”. ඉතිහාසය යන වචනයේ තේරුමත් එයයි; “එය එසේ සිදුවිය”. ඉතිහාසය සහ කලාව පිළිබඳ ඇරිස්ටෝටල්ගේ සමස්ත මතයේ කෙටි අදහස තමයි කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි යන වග.

පණ්ඩුකාභය කතා ප්‍රවෘත්තියේ සුළු සිදුවීමක් අපි ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම හැඟීම්බරයි. මොකද, කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයිනේ. දාර්ශනිකයි කියන්නේ චින්තන ධාරාවක් ක්‍රියාත්මක වෙනවා. චින්තන ධාරාව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වන්නේ හැඟීම්.

කලාව සම්බන්ධ වන්නේ භාවයන් සමඟයි. ඉතිහාසය භාවයන් සමඟ සම්බන්ධ නැහැ. ගැඟීම් ඉතිහාසයේ නෑ. අප කරන්නේ ඉතිහාසයට හැඟීම් ඇතුළු කිරීමයි. එවිට අපට ඉතිහාසයේ සත්‍යය, අසත්‍යය අවබෝධ කරගන්න පුළුවන්. මුලින් සඳහන් කළ පරාජිතයාගේ අඩුපාඩු පියවා ගැනීමට හැකිවන්නේ දෙපස ඇති ඉතිරියෙහි හැඟීම් එකතු කිරීමෙන්. හැඟීම් ඒකලනය කිරීමෙන් අපට සිද්ධිය කුමක්ද සහ සිද්ධියේ බරපතළකම හ‍ඳුනා ගන්න පුළුවන්. එසේ නම් ඉතිහාසයට හැඟීම් එකතු කිරීම තමයි කලාකරුවාගේ කටයුත්ත. දාර්ශනික බව ඇත්තේ හැඟීම්වලයි. මම අබා සඳහා කරනු ලැබුවේ එවැනි කටයුත්තක්. හැඟීම් ආකර්ෂණීයයි. ආකර්ෂණීය බව කලාවට අවශ්‍යයි. හැඟීම් ගත විශ්මය, වේදනාවේ විශ්මය, ජයග්‍රහණයේ විශ්මය, පරාජයේ විශ්මය ආදී විශ්මයක් සහිතව හැඟීම් එක්කොට ගෙන ඵෙතිහාසික කතා ප්‍රවෘත්තියක් පරිපූර්ණ කිරීම තමයි මා විසින් සිදුකරනු ලැබුවේ. එය ආකර්ෂණීය චිත්‍රපටයක් බවට පත් වුණා. රැල්ලක් බවට පත් වුණා.

මේ රැල්ල හරහා ඉතිහාසය පිළිබඳ විශාල කතිකාවක් මේ රටේ ඇතිවෙන බව දැනගෙනයි මම මෙය නිර්මාණය කළේ. එය තමයි මම මුහුරත් උළෙලේදී “මෙය වනාහි සංස්කෘතික ගේට්ටුවකි”-“මළකඩ කා තිබූ සංස්කෘතික ගේට්ටුවක් විවෘත කළා” ආදී වශයෙන් ස‍ඳහන් කළේ. එම නිසා චිත්‍රපටය නිර්මාණය වුණාට පසුව සිදු වූ අහම්බයක් නොවේ මෙය. නිර්මාණාත්මකවම සැලසුම් කරන ලද ප්‍රවණතාවක්. සමස්තය ආකර්ෂණීය, හැඟීම්බර තැනකට රැගෙන එන්නේ හිතාමතාමයි. එවිට එය රැල්ලක් බවට පත් වන බව මා කලින් දැන සිටියා. ඒ කියන්නේ එය මහා සමාජ කතිකාවක් බවට පත්වන බව. කතිකාවක් වන්නේ ගුණ වැයීමෙන්ම නොවේ. මෙය ප්‍රශ්නකාරීයි. කතිකාවක් ඇතිවන්නේ එ් නිසයි.

ආචාර්ය මහින්ද රත්නායක,

සිංහල අධ්‍යයන අංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT