පසුගිය වසර තුනක කාලය තුළ වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් මස 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස රජයේ විශ්වවිද්‍යාල දහසයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) නියෝග නිකුත් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2020දී සිදු වූ නවක වද සිද්ධියකදී විශාල බැකෝ ටයරයක් පෙරළීමෙන් එහි පළමු වසරේ සිසුවකුව සිටි පසිඳු හර්ෂණ සිල්වා බරපතළ ලෙස රෝගී වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දිවයිනේ පවතින රජයේ සියලු විශ්වවිද්‍යාල නම් කර ඇති බවය. එම කිසිදු විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ඇය සඳහන් කළාය.
එහෙත් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, පොලිස්පතිවරයා වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව පෞද්ගලික නීතිඥවරු මඟින් අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එම නීතිපති දෙපාර්තමේන්තුව මඟින් විශ්වවිද්‍යාලවලට දැනුම් දීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී කියා සිටියාය.
එහිදී මෙම වාර්තා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය යන විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනාගතයේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ගැනීමේ නියෝගයක් ලබා ගැනීම සඳහා මෙම පෙත්සම ගොනු කළ බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කළේය.
ඒ හැර මෙම නඩුකරය මඟින් කිසිදු වන්දියක් අපේක්ෂා නොකරන බව ඔහු පෙන්වා දුන්නේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ වාර්තාව ගොනු කරන ලෙස රජයේ සියලු විශ්වවිද්‍යාලවලට නියම කළේය. පෙත්සම නොවැම්බර් මස 10 වැනිදා නැවත කැඳවීමට නියෝග කෙරිණ.
නෙල්කා මැදගෙදර