රන් භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 63කට අධික වටිනාකමක් ඇති අගරු චෙක්පතක් දී මුදල් වංචා කළ සැකකරුවකුගෙන් වරින් වර රුපියල් 35,000 බැගින් මුදල් ලබාගත්තේ යැයි කියනු ලබන කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමට කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙරේදා (10) පියවර ගත්තේය.
මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ කැලණිය, බියගම පාර, කොහොල්විල හන්දිය ආසන්න නිවෙසක පදිංචි පුද්ගලයකුගෙන් බව පොලිසිය කියයි.
රන් භාණ්ඩ මිලදී ගෙන රුපියල් 6,353,156ක අගරු චෙක්පත් දී මෙම වංචාව සිදු කර ඇත්තේ ජුනි 15 වැනිදා බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල විමර්ශනය කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයාය. සැකකරුගේ බිරිය විසින් උසස් පොලිස් නිලධාරීන්ට මෙම උප පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් 35,000 බැගින් විටෙන් විට මුදල් ලබාගත්තේ යැයි පැමිණිලි කර ඇත්තේ චෙක්පත් වංචාව සම්බන්ධයෙන් අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වෙන බවත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා වරදක් කර නැති බව එහිදී අනාවරණය වුවහොත් ඔහුගේ සේවය නැවත පිහිටුවීමට කටයුතු කරන බවත්ය.
ගයාන් කුමාර වීරසිංහ
504