Home » අහුංගල්ලේ වෙඩි තැබීම පොලී මුදල් ආරාවුලක්

අහුංගල්ලේ වෙඩි තැබීම පොලී මුදල් ආරාවුලක්

by sachintha
October 12, 2023 12:22 am 0 comment

බලපිටිය දෙස සිට කොස්ගොඩ දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට අහුංගල්ල රීච් හෝටලය ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණ ඊයේ (11) උදෑසන වෙඩි තබා ඇත්තේ පොලී මුදල් ආරවුලක් මුල්කරගෙන දැයි විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කොස්ගොඩ නාපේ ප්‍රදේශයේ පදිංචි පොලියට මුදල් ලබා දෙන වයස අවුරුදු 38ක් වන පුද්ගලයෙකි. මෙම පුද්ගලයාට මෙයට දින තුනකට පෙර දුරකතන ඇමතුමක් දෙමින් කළ තර්ජනයක් ගැන ද විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ.

එම තර්ජනය කළ පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ උදෑසන 7.30ට පමණය. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබන පොලියට මුදල් දෙන ව්‍යාපාරිකයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර ඇත. වෙඩි වැදුණු පුද්ගලයාගේ බිරිය දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත කර සිට ඇති බවත් දරුවා සහ බිරියගේ සුවදුක් බලා නිවෙස බලා යමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් කළ සෝදිසි මෙහෙයුමේදී වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට ඇල්පිටිය මාර්ගයේ දන්කැටිය ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයාගෙන ඇත.

මෙම මෝටර් රථයේ සඳහන් අංක තහඩු ව්‍යාජ ඒවා බවට පොලිසිය හඳුනාගෙන ඇත. මහනුවර ප්‍රදේශයේ අයකු නමින් මෙහි සඳහන් අංකය යටතේ ලියාපදිංචිකොට ඇත්තේ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් බවත් පොලිසිය කියයි.

ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක, බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, උප පොලිස් පරීක්ෂක ලියනගේ මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

ගයාන් කුමාර වීරසිංහ, කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන,
බෙන්තොට – එස්. මද්දෙවිතාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT