සුපිරි කේ. ඩී. එච්. වෑන් රථයකින් රටපුරා සංචාරය කර පූජා භාණ්ඩ හා රෙදිපිළි වෙළෙඳ සැල් කඩා කෝටි ගණනක් වටිනා අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ හා රෙදිපිළි සොරාගෙන ගොස් සිටි හොර කල්ලියක තිදෙනෙකු එම වෑන් රථයත් සමඟ පෙරේදා (10) අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය ඊයේ (11) උදෑසන පැවසීය.
සොරාගෙන ගොස් තිබූ භාණ්ඩවලින් කොටසක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත්තනගල්ල රජමහා විහාරස්ථානය අසල පවත්වා ගෙන යනු ලැබූ පූජා භාණ්ඩ වෙළෙඳ සැලක් පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා පාන්දර කඩා රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ සොරා ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක හා එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන් යන මහත්වරු ප්‍රමූඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී මූලික පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ සොරුන් පැමිණි කේ. ඩී. එච්. වර්ගයේ සුපිරි වෑන් රථයක් සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට හැකි වූ නමුත් එහි අංකය පැහැදිලිව දර්ශනය නොවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එම වෑන් රථය ගිය මඟ ඔස්සේ දින ගණනාවක්ම පාණදුර ප්‍රදේශය දක්වා ගොස් ඇත.
පොලිස් නිලධාරීන් පිරිස ගොරකාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක සී. සී. ටී. වී. කැමරාවක් පරීක්ෂා කළ අවස්ථාවේ සොරුන්ගේ වෑන් රථයේ අංකය හඳුනා ගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ඒ ඔස්සේ පාණදුර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සොරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අත්තනගල්ල නගරයේ පූජා භාණ්ඩ වෙළෙඳ සැල කඩා රැගෙන ගොස් තිබූ පූජා භාණ්ඩවලින් කොටසක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසා සිටියේය.
මොවුන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යද්දී මීටියාගොඩ පොලිස් වසම ඇතුළුව තවත් නගර ගණනාවකම පූජා භාණ්ඩ සහ රෙදිපිළි වෙළෙඳ සැල් කඩා භාණ්ඩ සොරාගෙන යාම් ගණනාවක්ම හෙළි කර ගැනීමට හැකි වී ඇත.
මොවුන් එසේ සොරාගෙන ගොස් තිබූ තවත් රෙදිපිළි හා පූජා භාණ්ඩ තොගයක් බණ්ඩාරවෙල ප්‍රදේශයට විකුණා තිබියදී සොයාගැනීමට හැකි වී ඇත.
මොවුන් මෙසේ රටපුරා කඩ කඩා සොරාගෙන යන භාණ්ඩ හම්බන්තොට හා මාතර ප්‍රදේශයන්හිදී ප්‍රසිද්ධියේ විකුණා ඇති බවට ද පරීක්ෂණවලින් හෙළි වී ඇත.
සොරකමට යොදා ගෙන ඇති වෑන් රථය කුලී පදනම මත ලබා ගෙන ඇති එකක් බවට ද හෙළි වී ඇත.
මෙම හොර කල්ලිය පස් දෙනෙකුගෙන් සමන්විත බවත් සැඟවී සිටින සොරුන් දෙදෙනෙක් හා ඉතිරි භාණ්ඩ සොයා ගැනීම සඳහා පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
වේයන්ගොඩ විශේෂ