අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේ දී බවුසර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තලාව ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලැබූ තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි ව සිටි වයස අවුරුදු 10ක් වන ඩබ්ලිව්. නිසල්යා නෙත්සරණී විමලසේන දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි දියණියක බව ද පොලිසිය පවසයි.
මෙම අනතුර පෙරේදා (10) රාත්‍රී 7.00ට පමණ සිදු වී ඇති බව තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පවසයි. කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරුපැදිය ගැටී අනතුර සිදුව තිබෙන බවත් ඒ අවස්ථාවේදී යතුරුපැදියේ දැරිය ඇගේ මවත් සමඟ පැමිණ තිබෙන බවත් තලාව පොලිස් රථවාහන අංශය පවසයි.
යතුරුපැදිය බවුසර් රථයේ ගැටීමත් සමඟින් දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතළ හානි සිදු වී ඇති බව ද වැඩිදුරටත් පැවසේ. ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වන විටත් දියණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවත් මවට කිසිදු අනතුරක් සිදු වී නොමැති බැවින් ඇය රෝහලෙන් මුදා හැර නිවසට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරට පත් බවුසරය හා යතුරුපැදිය තලාව පොලිස් ස්ථානය විසින් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුරින් රථ වාහන ද්විත්වයටම දැඩි අලාභ හානි නොමැති බව ද පොලිසිය පවසයි. අනතුරට පත් බවුසර් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියතමිය.
ජීවිතක්ෂයට පත් දස හැවිරිදි දැරියගේ මෘත දේහය මේ වන විට තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව ඇගේ දේහය පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතය.
මට ආයේ කැටේට දාන්න සල්ලි ඉල්ලන්නවත් අත්තේ කියලා කියන්න කෙනෙක් නෑ හිටපු එකම කෙල්ල හොරු අරන් ගියා වගේ යැයි බවුසරයේ ගැටී මියගිය දියණියගේ සීයා පැවසීය.
අලහකෝන් මුදියන්සේලාගේ රත්නායක (74) මියගිය විමලසේනගේ නිශල්‍යා මෙත්සරණි විමලසේන යන වයස අවුරුදු 10 ක දියණියගේ මවගේ පියා ය. ඔය නැති වෙලා ඉන්නේ මගේ මගේ පොඩි දුවගේ එකම දුව. එයාට තව අයියලා දෙන්නෙකුත් ඉන්නවා. බෑනා තලාව පොලිසියේ සිවිල් සේවකයෙක්.
මගෙ පොඩි දුව ඔය දරුවාගේ අම්මා තලාව එප්පාවල පාරේ පොඩි කඩයක් කරනවා.
උදේට දුව ඉස්කෝලෙ යන්නෙ අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි. ඉස්කෝලෙ තියෙන්නේ තලාව නගරෙමයි. තලාව ප්‍රාථමික ඉස්කෝලේ 5 වසරේ තමයි ඉන්නේ. ඉගෙන ගන්නත් හරි දක්ෂයි. හෙට අනිද්දා තියෙන ශිෂ්‍යත්ව විභාග ලියන්න හිටියේ. ඒ විතරක් නෙවෙයි 23 වැනිදා එයාගේ උපන් දිනය. හැමදාම උදේට ඉස්කෝලේ යනවා හවස පන්තිත් ඉඳලා එන්නේ. ඔය සිද්ධිය වෙච්ච දවසේ මගෙ පොඩි දුව කඩේ වහල එයාගේ දුව පන්තියෙන් අරගෙන තලාවේ ෂෙඩ් එකට ගිහිල්ලා තෙලුත් ගහගෙන ගෙදර එන්න කියලා. වටරවුමෙන් හරවන කොට තමයි ඔය අනතුර වෙලා තියෙන්නේ. මට වාවා ගන්ඩ බෑ මහත්තයෝ ඔය පවුලට කොල්ලො දෙන්නෙක් හිටියට හරිම හුරතලේට හැදිච්ච අහිංසක කෙල්ල තමයි අපිව දාලා ගියේ.
මාතලේ රත්තොට පැත්තෙ ඉදලා තමයි අපි 79 මහවැලි ඉඩම්වලට මෙහෙට ඇවිල්ලා ඉන්නේ.
කැටේට දාගන්න කීයක් හරි සල්ලි දුන්නාම තමයි එයාගේ ලොකුම සතුට. අත්තේ කියලා තමයි මට කියන්නේ. අත්තා ළඟට එන්න ආයෙ චූටි දුවෙක් මට නැහැ මගේ අනිත් දුවට ඉන්නේ පුතාලා ම. මිණිපිරී හම්බෙන්න ගිහිල්ලා මගේ දුවට හුඟක් අමාරු වුණා. ඊට ඉස්සෙල්ලත් බබෙක් හම්බ වෙන්ඩ ඉඳලා නැති වුණා. මේ ළමයා එදා නැති වුණා නම් දුකක් නෑ
අවුරුදු 10 හදලා වඩලා එහෙම වුණහම කොහොමද දෙයියනේ වාවන්නේ..ඒ දරුවාගේ සංසාර ගමන මෙතනින් ඉවර වුණා. අපි මොනවා කිව්වත් වැඩක් නෑ වාහන වල යනකොට හරි පරිස්සමෙන් යන්න ඕන නැත්තං අහිංසක ජීවිතවලින් තමයි වන්දි ගෙවන්න වෙන්නේ ඇයි හැඬූ කඳුළින් සීයා පවසයි.
තලාව පොලිසිය රථ වාහන අංශය පවසන්නේ ද බවුසර් රථ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මේ අනතුර සිදු වූ බවයි.
මේ අනතුර ගැන තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි ජීවහස්ත සිරිසේන මහතාගේ උපදෙස් මත තලාව පොලීසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලංසක්කාර මහතාගේ අධීක්ෂණය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දසිරි මහතා සමඟ පො. සැ. 33346 ජගත්, පො. සැ. 36538 විජිත,පො. සැ. 9033 ඒකනස්‍යක. පො. සැ. 51112 වන්නනායක යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
තලාව – එස්. ධර්මකීර්ති හා අනුරාධපුර – තිසර සමල්