Home » දරුවන් විනය විරෝධීව හැසිරෙනවා නම් අනාගතය පිළිබඳ විශාල දුර්භ්‍යාගයක්

දරුවන් විනය විරෝධීව හැසිරෙනවා නම් අනාගතය පිළිබඳ විශාල දුර්භ්‍යාගයක්

- නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

by sachintha
October 12, 2023 1:01 am 0 comment

හෙට මේ සමාජය භාර ගැනීමට සිටින දරුවන් විනය විරෝධී ලෙස නීති විරෝධි ලෙස හැසිරෙනවයි කියනව නම් ඒක මේ රටේ අනාගතය පිළිබඳ විශාල දුර්භ්‍යාගයක් වෙනවා. දැනටමත් අපි ඒ වගේ සමාජයක් එක්ක දුක් විඳිනවා. තවදුරටත් මේ වගේ පරපුරක් ඉස්සරහට ගෙනියන්න සිද්ධ වුණොත් ඉදිරියටත් අපිට ගැලවීමක් නැතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 10 දා හොරණ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේ හොරණ නව බස් නැවතුම්පළ ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ පාසැල් දරුවන් විසින් මත්ද්‍රව්‍ය, දුම්වැටි, විවිධ අපචාර ක්‍රියා සිදු කිරීම පිළිබඳව මාධ්‍යයක පළවූ පුවතක් සම්බන්ධයෙන් හොරණ නගරයේ සියලුම රාජ්‍ය ආයතන, විදුහල්පතිවරුන්, පෞද්ගලික පංති ගුරුවරුන්, වෙළෙඳ සැල් හිමියන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා විශේෂ රැස්වීමක් කැඳවමිනි.

හොරණ නගරයේ කඩහිමියන් විසින් පොලිසියට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ අතර, බස්නැවතුම්පළේ ඇති පොලිස් කුටිය ද ඉබි යතුරු දමා වසා දමා තිබීම ගැන ද ඔවුන් පෙන්වා දුන්හ.

මෙම පුවත පළ වී දින හතරක් ඉක්ම යාමට මත්තෙන් මෙම රැස්වීම කැඳවා තිබූ අතර, එහිදි ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තමන් මේ පුවත නැරඹීමෙන් දැඩි ලැජ්ජාවට පත් වූ බවයි. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් එම ලැජ්ජාව ඇතිවෙන්න ඇතිවුවත් හොරණ ඒ. එස්. පී, ඕ. අයි. සී. හා එච්. ඕ. අයි. මහත්වරුන්ට එවැන්නක් දැනුණා ද කියා නොදන්නා බවත් ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යයේ දාපු ආයතනයටවත්, වීඩීයෝ කළ පුද්ගලයාටවත් ප්‍රකාශ ලබාදුන් කාන්තාවටවත් දොස් පැවරීම නෙමෙයි කළ යුත්තේ. පොලිසිය විතරක් නෙමෙයි මේකට වගකිව යුත්තේ. පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වූ ප්‍රශ්නයක්. අපි සියලු දෙනාම මේකට වගකිව යුතුයි. හොරණ නගරයේ මත්පෙති, ගංජා, මත්ද්‍රව්‍ය නැති කරන්න නම් පොලිසියත් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවත් එකට එක්වී කටයුතු කළ යුතුයි. පොලිසිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මුළුමනින්ම මේක නතර කිරීමට හැකියාව තියෙනවා. හොරණ පොලිසියට මේක කරන්න බැරි නම් පිටින් වෙනම විශේෂ පොලිස් කණ්ඩායමක් එවලා හරි මෙම තත්ත්වය මාස තුනකින් හරි නැති කරනවා. මෙවැනි ප්‍රවෘත්ති පළවීම මෙම ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාව විදියට ලැජ්ජාවට පත් විය යුතුයි…

මෙහිදී කඩහිමියන් පැවසුවේ පොලිසියට තොරතුරු ලබාදුන්නත් ඔවුන් බැණවදින බවයි. පොලිසියට ලබාදුන් දුරකතන ඇමතුම පටිගත කර තමාගේ ජංගම දුරකතන අංකයට එවන ලෙසත් එවැනි නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය නීති ක්‍රියාත්මක කරන බවද දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පානදුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානාධිපතිවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප – හල්තොට සමූහ

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT