Home » වසරකට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට

වසරකට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට

by sachintha
October 12, 2023 1:02 am 0 comment

ශ්‍රී ලංකා පාපන්දු පිල ඊයේ සවුදි අරාබියේදී පුහුණුවීම්වල නිරතව සිටි අයුරු.

වසරකට අධික කාලයකට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී යේමනය සමඟ අද තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව හා යේමනය අතර, පළමු තරගය අද සවුදි අරාබියේ අබා නගරයේදී හා දෙවැනි තරගය 17 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සැලසුම්කොට ඇත.

ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් පාපන්දු ක්‍රීඩකයන් 5ක් ශ්‍රී ලංකා පිලට එක් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව පරිපාලනය කටයුතු කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම භාරව කටයුතු කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ කෙටි කලක් තුළ ජාතික පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකට සහභාගී කරවීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි.

“පසුගිය කාලයේ පාපන්දු පරිපාලනය අක්‍රීය වී තිබූ නිසා තවමත් මුදල් ගෙවීමේ අපහසුතා ඇතිවෙලා තියෙනවා. නමුත් අපේ වගකීම පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි කරවීම. ඒ නිසා ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළු වියදම් පසුව දෙන පොරොන්දුව මත වැය කළා. උප සභාපති රංජිත් රුද්‍රිගූ මහතාගේ පෞද්ගලික මුදල් රුපියල් ලක්ෂ 25ක් කණ්ඩායම වෙනුවෙන් ඩොලර් ගැනීමට ලබා දුන්නා.

පවතින තත්ත්වය තුළ කණ්ඩායමක් ලෙස අප අභියෝගයට මුහුණ දුන්නා. දැන් තියෙන්නේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කිරීමයි. පිට ඉඳන් බලන අයට මේ පිළිබඳ වැටහීමක් නෑ. කවුරු මොනවා කීවත් අපට පැවැරුණ වගකීම රට වෙනුවෙන් අප ඉටු කරනවා” මනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

අන්තර්ජාතික පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව යේමනය 156 වැනි ස්ථානයේ සිටින අතර, ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ පසු වේ. යේමනය මේ වසරේ ජනවාරි මාසයේ අවසන් වරට අන්තර්ජාතික පාපන්දු තරගයකට සහභාගීවූ අතර, එහිදී ඉරාකය හමුවේ ගෝල් 5-0ක පරාජයක් හිමි විය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූලි මාසයේදී මාලදිවයින සමඟ අවසන් අන්තර්ජාතික පාපන්දු තරගයට මුහුණදුන් අතර, එහිදී ගෝල් 1-0ක පරාජයක් ලැබීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT