ලංකා සතොස ආයතනයේ සේවය කරමින් සිටියදී රුපියල් මිලියන 31කට අධික මුදලක් වංචා කළ බවට ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති වෙනුර ගුණවර්ධන සහ හිටපු කළමනාකරු ඉන්දික හේමාල් රත්නමල්ල යන අයවළුන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ලංකා සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු එම සිද්ධියෙන් මුදා හරින බවට මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
සොයිසාපුර පදිංචි වන්කුවත්ත වඩුගේ ප්‍රමිල ජීවන්ත ප්‍රනාන්දු යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට සිදු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිලිකාර පුද්ගලයා 2007 වර්ෂයේ එංගලන්තයේ පදිංචියට යාමෙන් අනතුරුව බස් රථයක් කාර් රථ තුනක් වෑන් රථයක් මිලදී ගත් බවත් බස් රථය තමා දන්නා අයකු වන දීපිකා අමරදාස මහත්මියට භාර දුන් බවත් පැමිණිල්ලේ සඳහන් අතර කොවිඩ් ව්‍යසනය හේතුවෙන් ඇය එම රථය නැවත භාර දුන් බවත් ඇය මාර්ගයෙන් ඉන්දික හේමාල් රත්නමල්ල යන අය හඳුනාගත් බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.
ඉන් අනතුරුව අවස්ථා හතකදී ඉහත මුදල ලබා දුන් බවත් එක් අවස්ථාවකදී ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති වෙනුර ගුණවර්ධන අයගේ ගිණුමට රුපියල් 450,000.00ක මුදලක් බැර කර ඇති බවත් සඳහන් කර ඇති අතර ලාභාංශ ලබා දෙන බවට එම මුදල් ලබා දුන් බවත් ලාභාංශ අවස්ථා කිහිපයකදී ලැබුණු බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් විමසා තිබූ අතර ඒ අනුව ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති වෙනුර ගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා දන්වා ඇත.
මෙහි සැකකාර ලංකා සතොස ආයතනයේ හිටපු කළමනාකරු ඉන්දික හේමාල් රත්නමල්ල යන අයට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව නඩුව ලබන නොවම්බර් මස පළමුවැනිදා වැඩිදුර වාර්තා සඳහා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සුභාෂිණී සේනානායක