Home » Qatar Charity ආයතනයෙන් ගොවීන් 3000කට පොහොර

Qatar Charity ආයතනයෙන් ගොවීන් 3000කට පොහොර

by mahesh
October 13, 2023 12:59 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මෙවර මහ කන්නයේදී වී හැර එළවළු සහ අනෙකුත් භෝග වගා කරන ගොවීන් 3000කට අවශ්‍ය පොහොර වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් දීමට Qatar Charity ආයතනය පියවර ගෙන ඇත. ඒ යටතේ ගොවියකුට රුපියල් 20,000ක් වටිනා පොහොර දීමට කටයුතු යොදා තිබේ.

කුරුණෑගල, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාරයකට වඩා අඩු බිම් ප්‍රමාණයක එළවළු සහ අනෙකුත් වගාවන් සිදු කරන ගොවීන්ට පොහොර සඳහා වූ මේ සහනාධාරය හිමි වේ. විශේෂයෙන් අඩු ආදායම්ලාභී ගොවීන් මේ සඳහා තෝරාගැනීමට Qatar Charity ආයතනය විසින් පියවර ගෙන ඇත.

මේ සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සහ Qatar Charity ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු Tharick Mansoor මහතා අතර සාකච්ඡාවක් පසුගිය 10 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

වගා කන්න කිහිපයකදී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය සහන දුන්නත් එළවළු හා අනෙකුත් භෝග වගා කරන ගොවීන්ට සැලකිය යුතු මට්ටමේ සහන සැලසීමට නොහැකි විය. එම නිසා Qatar Charity ආයතනයෙන් දෙන ආධාර මත දිස්ත්‍රික්ක තුනක තෝරාගත් ගොවීන්ට මේ පොහොර දීම සිදු කෙරේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා මෙලෙස පැවැසීය.

“බඩඉරිඟු, මිරිස් සහ එළවළු වගා කරන ගොවීන්ට මේ පරිත්‍යාගයෙන් යම් සහනයක් ලැබෙනවා. පසුගිය කාලයේ රජය විසින් වී වගාවට විශාල සහන රැසක් ගොවි ජනතාවට දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ සහල් නිෂ්පාදනය ඉහළ ගියා. රුපියල් 500ක් දක්වා සහල් කිලෝවක මිල ඉහළ යනු ඇතැයි ඇතැම් පාර්ශ්ව කරුණු ඉදිරිපත් කළත් සහල් මිල රුපියල් 280 සිට රුපියල් 130 දක්වා පහත වැටුණා.

පසුගිය නියඟය හා දැනට පවතින වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට විශාල බලපෑමක් එල්ලවී ඇති නිසා ඉදිරි කාලයේ දැඩි එළවළු හිඟයක් මෙන්ම මිල ඉහළ යෑමේ හැකියාවක් තිබෙනවා. එනිසා Qatar Charity ආයතනයෙන් එළවළු වගා කරන ගොවීන්ට සහන සැලසීමට ඉදිරිපත් වීම අගය කරනවා.”

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු මේ සාකච්ඡාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT