ආදාහනාගාර සහ සුසාන භූමි වෙන් කිරීමට මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය මේ වසර අවසන් වන තෙක්ම පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් දී ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අගමැතිවරයා මේ බව පැවැසුවේ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.
“ආදාහනාගාර සහ සුසාන භූමි වෙන් කිරීමට සහතික වෙන් කිරීම සම්බන්ධයෙන් 2023. 07. 26 වැනි දින රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අංක 01-2023 දරණ චක්‍රලේඛය හා එදිනම පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස් දෙමින් නිකුත් කළ GR/MBD/01/81 දරන ලිපිය පදනම් කර ගනිමින් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධව විවිධ ප්‍රායෝගික ගැටලු ඇති වී තිබෙනවා. එම තත්ත්වයන් නිවැරදි කිරීම සිදු කරන තෙක් 2023. 12. 31 වැනිදා දක්වා ආදාහනාගාර සහ සුසාන භූමි වෙන් කිරීම සඳහා අදාළ සහතික වෙන් කිරීමට මෙතෙක් පැවති ක්‍රමවේදය සිදු කිරීමට ඊට අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.
තාවකාලිකව වගා කටයුතු සඳහා බදු පදනම මත ඉඩම් දී ඇති වැවිලි සමාගම් විසින් පාරම්පරිකව ගම්මානවල ජීවත් වන ජනතාවගේ පොදු අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුයි. වැවිලි සමාගම්වල පාලන අධිකාරිය ග්‍රාමීය ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කළ යුතුයි. ඔවුන්ට දී ඇති සෑම භූමි ප්‍රමාණයකම වගා කිරීමට ද කටයුතු කළ යුතුයි.
කළුඅග්ගල කහටපිටිය ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට අක්කර ½ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට එකඟතාව පළ නොකිරීමත් සමඟ එම භූමිය නිදහස් කරන ලෙස නැවත සම්බන්ධීකරණ කමිටු තීරණය මේ සමාගම වෙත දැනුම් දෙන්න.
සීතාවක පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම විහිදා දක්වන කෞතුකාගාරයක් ඉදි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ජනතාවට කඩිනමින් හා පහසුවෙන් ගමන් කළ හැකි ස්ථානයක මේ කෞතුකාගාරය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාව අනුමත කළා.”